හිමි නොවනා බව දැනුනත්.

 

 

සුවිනි ගේ හිතේ කිසිම විවේකයක් නැහැ. කීප දවසක ඉඳන් නින්දත් හොරයි . වැඩට යන්නම් වාලේ ගියාට හිත එකලාසයකින් කිසිඳු වැඩක්  කලේ නෑ. . බඩගින්නට කෑවාට කෑවේද කිසිම පිරියකින් නොවේ. නමුත් මේ සියල්ලටම වඩා අමාරු කාරිය නම් දුව නෙතාරා ගෙන් තම නොසන්සුන් හිත වසන් කරන් සිටීම.

"පොඩි උනාට මේකිට මගෙ හිත අපූරුවට කියවන්න පුලුවන්" තමාට තුරුල්ව නිදන දුව නෙතාරා දිහා බලමින් සුවිනී හීල්ලුවා. නෙතාරා අවුරුදු දහයක දැරියක්. අම්මාගේ කපාපු පලුවක්.

 

"කුසල් අදවත් එයිද දන්නෙ නෑ, අද සෙනසුරාදානේ , නැත්තම් ලෙඩක් අසනීපයක්ද , කෝල් කරාට ගන්නෙත් නෑ, අනේ මම දන්නෑ , කාගෙන්ද මම අහන්නේ"

කුසල් ගෙන් දවස් ගානකින් කිසිම ආරංචියක් නැති එක තමයි සුවිනී ගෙ හිතේ , ගතේ ලෙඩ ඔක්කොටම මුල.

"අපි උඹට කිව්වනේ ලොකු අක්කේ ඔය හයිය අතු අල්ලන්න යන්න එපා කියලා, අර සිරිලයියව බැන්දා නම් උඹ අද තොග කඩේක අයිතිකාරියක් , මේ වගේ රස්සා කර කර දුක් විඳින්න ඕන නෑනෙ බං" ලොකු නංගිට දුක කිව්වම ඔන්න දුන්න උත්තරේ.

 

" මනුස්සය මුන්ගෙ බඩවල් වලට කෑම දීල,ඇඟට වස්තර දීලා , උගන්නලා මනුස්සයො කලාට මුන්ට නෑ කිසිම කෙලේගුනයක්, නැත්තම් යමන් ලොකු අක්කේ අපි කුසල් අයියා හොයාගෙන , එහෙමනේ මුන් කියන්නෝනා" .

 

'එක අතකට ලොක්කි කියන්න වගේ සිරිලයිය බැඳ ගත්තනම් අද මම අඩු ගානෙ හිතේ සතුටින් ඉන්නවා , මොකක්ද මම ගෙවන මේ කාලකන්නි ජීවිතේ, උපන්දා හිටං නෑනේ හිතට කිසිම සැනසිල්ලක් , අම්මපා" , සුවිනී ගෙ හිතුවිලි වලට නැවතිල්ලක් නෑ අද.

 

සුවිනී  හද්දා පිටිසර ගමක කෙල්ලක්.   අන්ත දුගී පවුලක එකියක්. පවුලේ වැඩිමාල් දැරිවිය වූ ඈට බාල දරුවන් පස් දෙනෙක්. කුඩා වියේ සිටම  අඳ ගොවියෙකු වූ අප්පච්චීට කොල්ලෙකු මෙන් සහායට ලියදි කපන්නට, වපුරන්නට , නෙලන්නට හිටියේ සුවිනීයි.

 

උසස් පෙල සමත් වී ටික කාලයක් ගමේ තැන් තැන් වල එකෙල මෙකල වී හිටි සුවිනීට කොලඹ කොම්පැනියක රස්සාවක් ලැබුනේ, හිච්චි නැන්දාගේ පුතා රුවන් අයියාගේ උදව්වෙන්. රුවන් අයියා වැඩ කරන කොලඹ හෝටලයට එන මහත්තයකුගේ රෙකමදාරුවෙන්.

 

සුවිනී කිසිම විසේස ලස්සනක් , ඔපයක් ඇති කෙනෙක් නොවේ. තරමක් මිටිය, කෝපි පාටය , කුඹුරේ හේනේ වෙහෙසවී වැඩ කිරීමෙන්දෝ පිරිමියකු මෙන් ශක්තිමත් මස්පිඬු ඇතිය. කෙස්සද , කටහඬද රලුය. නවීන විලාසිතා, කොලඹ සිරිත් විරිත්, ආටෝප  සාටෝප වලින් තොරය. කිසිවකුට දෙවරක් බලන්නට සිත් නොදෙන තරමට සාමාන්‍ය ගැහැනියකි.

 

කරුමෙද , දෛවයද කියන්නට බැරි නමුත් , සුවිනී ලැබුන රස්සාව කුසල්ගේ කන්තෝරුවටමය . කුසල් එහි අංශ භාර ලොක්කාය. සුවිනී එහි සාමාන්‍ය ලිපිකාරිනියකි. රිදී කාල් අස්සේ ගැසූ අලුක් කාලක් මෙන් සුවිනී එහි වැඩ කල අනෙකුත් ඔප වැටුන , ඔප දැමුන ලස්සන කෙල්ලන් ගොඩේ වැටුන පැහැයක් ඔපයක් නැති අලුක් කාලකි.

 

කුසල් නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම්, කැපිල පෙනෙන හාදයෙක්. විරාගයක් ගැන හැදුන සිනමා සිත්තමේ රඟ පෑ නලුවාගේ පෙනුමමය. ලස්සනට අඳින පලඳින, සිතට දැනෙන්නට කතා කරන්නට ඔහු හපනෙක්. හිනාවෙන විට පහන් දහසක් දැල්වූවා වැනි එලියක් . එලෙසම ඉතා හොඳ අංශ ප්‍රධානියෙක්. සැමටම එකම හැන්දෙන් බෙදූවෙක්.  විවාහකයෙක් , දියනියකගේ පියෙක්.

 

කන්තෝරුවේ විවාහක , අවිවාහක ලඳුන් වයස් භේදයකින් තොරව කුසල් ඉදිරියේ තොඳොල් වෙන හැටි ,පාන අඟර දඟර සුවිනී බලා හිටියේ " මුන්ට අම්මපා විලි ලජ්ජාවක් නැති හැටි , අර මිනිහගේ කරේ නගින්න මනෙ යන්නේ, ඒත් මේ මිනිහා ඉන්නවනේ මරඟනන් මැද බෝසතානෝ වැඩ හිටියා වගේ,"යන කුසල් කෙරේ වූ පහන් හිතුවිල්ලෙන්.

 

එක දවසක අනෝරා වැස්සක , කුඩයකුත් නැතිව සුවිනී බසයෙන් බසින විටම ඇඳි සෙරප්පුවද "මට තවත් බෑ" කීවාසේ දෙකට වෙන්වුනා . කකුල අද්ද අද්දා බස් නැවතුමේ මුවාවට ගියද තෙත බරියන් වුන එක ඉන්නැවතුනේ නෑ  . බෑගයද වතුරින් පෙඟීලා . අසරනව වට පිට බැලුවේත්, එක්විටම කිරි සුදු කාරයක් අසල නැවතුනෙත් එකටම වගේ.

 

"සුවිනී , නගින්න , ඉක්මනට නගින්න" කුසල්.

 මදක් එකෙල මෙකල උන නමුත් සුවිනී කාරයට නැගුනා.

 

" අනේ ස්තුතියි සර්, මම කුඩෙත් බෝඩිමේ දාල ඇවිල්ල , මදිවට සෙරෙප්පුවත් කැඩුනා"

 

සර් නෙමෙයි , කුසල් , අහල තියෙනවද මට ඔෆිස් එකේ කවුරුත්  සර් කියනව.

 

එදායින් පසු සුවිනී දුටු විට කුසල් හිස සලා සිනාවෙන්නටත්, කන්තෝරුව හරහා යනෙන විටකදී , " අහ් සුවිනී කොහොමද " කියන්නටත් වුනා.

 

තවත් දවසක අහම්බයකින් මෙන් සුවිනීත් කුසලුත් දවල් බතට එකම වේලාවක කෑම කාමරේ තනි වුනා . වෙනදා වේලාසනින් කන සුවිනී එදා පරක්කු වූයේ ඇත්තටම ඇගේ බත් පතේ තිබුනේ පරිප්පුවක් පමනක් වූ නිසා. කුසල් ඉදිරියේ දිග ඇරගත් බත් පත හකුලා ගන්ටත් බැරිව සුවිනී පාඩුවේ බත් කෑවා .

 

"අහ්!  සුවිනී මේක ගන්න " ඇය ඉදිරියේ මාලු පිනි කීපයකි.

 

බෑ කියනු නොහැකිව එය තම පතට දමා ගත්තා.

 

"හරිම රසයි කුසල් , වයිෆ් උයන්නෙ"

 

"ඔව්, සාරධා තමයි , මොන වැඩ තිබුනත් එයා තමයි උයන්නේ"

 

සුවිනී කුසල්ගේ බිරිඳ සාරධා කීපවරක් දැක ඇත  , සියලු ස්ත්‍රී අංගයෙන් පිරිපුන් සුරූපිනියක් . සිහින්, පැහැපත් , මිහිරි කතා බහ, නාගරික ගති ආචාර සමාචාර ඇත්තියක් .කොලඹ ලොකු කොම්පැනියක ඉහල තනතුරක් හොබවන , දැන් කුසල් කියන විදිහට ගෙදර ඉවුම් පිහුමුත් කරනවලු. " වාසනාවන්ත ගෑනියක්, මොනවයින් අඩුවක්ද "?

ඉන් පසු ඉඳ හිට දිනෙක කුසල් සුවිනී ටත් බත් පතක් ගෙනවුත් තබන්නට පුරුදු වුනා , කෑම කාමරයට තම සහායක මිල්ටන් අත පාර්සලය යවන කුසල් , මිල්ටන් හරහාම එම පනිවිඩය සුවිනීට එවනවා.

 

කුසල් තමන් කෙරේ වෙනදා නොතිබූ උනන්දුවකින් බලන බව මේ වනවිට සුවිනීට දැනෙමිනුයි තිබුනෙ. කුසල් ගේ තරාතිරම , පෙනුම මෙන්ම සාරධාගේ රුවැති බවද දැන සිටියත්කුසල් මා ගැන හිතනවා "යන හිතුවිල්ලම  සුවිනීට මහා සන්තෝසයක් ගේනව.

 

උනන්දුවත්, ආසාවත්, කැමැත්තත් ඇති විට මොකෙන් මොකක් වෙන්න බැරිද. ඒකමයි සුවිනීටත්, කුසල්ටත් උනේ. එක් සති අන්තයක එක්ව ගෙවපු අනුරාගී හෝරා කීපයකදී කුසල්ට සාරධාත් , දුව සුලාරීත් , සුවනීට තම අත පතා උන් ගමේ කඩේ සිරිලා වත් අමතකම උනා.

 

දැන් දැන් සුවිනී ඉන්නේ හිතින් තටු සලා පියාඹමින්.සති අන්තය තෙක් ඇඟිලි ගැන ගැන කුසල්ගේ ලෝකයේ තනි වෙන්න.

 

නමුත් කුසල් ගෙ දුව සුලාරී පන්ති යන ගමන් හරි, ඉස්කෝලෙ නිවාඩු දවසක හරි කන්තෝරුවට එන දවසට , එහෙම නැත්තම් සාරධා කන්තෝරුවට  ඇවිත් තුන්දෙනා එක්කම රෑ කෑමකට , නාට්‍යක්, චිත්‍ර පටයක් බලන්න ආපු දවසට සුවිනී ඉන්නේ පපුව පිච්චි පිච්චි.

 

එහෙම උන දවසකට පස්සෙ එන සති අන්තෙක , සුවිනී කුසල්ගේ ඇඟ කොනිති ගහනවා , හිතෙ දුක නැති වෙනකන්ම.

"පිස්සුද කෙල්ල , මේ තුවාල වෙයි , පාරවල් හිටී" කුසල් අහකට පනිනව.

 

"ඔව් තුවාල වෙන්නම තමයි කොනිති ගහන්නෙ , එතකොට මහලොකු නෝනට පෙනේවිනෙ මහත්තයාගෙ හීරිලි පාරවල්"

 

ඔය වෙලාවට කුසල්ට යකා නගිනවා" මේ සුවිනී  සාරධාව ගාවගන්න එපා මේ කතාවට , මේක මගේ වැරැද්දක් මිසක් එයාගෙ වැරැද්දක් නිසා සිද්ද වෙච්ච දෙයක් නෙමෙයි , මම මීට කලිනුත් කියලා තියෙනව""

 

ඉතින් එතකොට සුවිනීත් යක්ශනියක් වෙනවා, කුසල් බනිනව , ගහනවා , අඬනව, හූරනවා ඉවරයක් නෑ.

නමුත් මේ අඬ දබර වලින්, නොගැලපීම් වලින් යටපත් නොවෙන්නට තරම් ආශ්වාදයක් ඔවුන් ඔවුනොවුන්ගේ ඇසුරින් ලබපු නිසාදෝ , මේ සම්බන්දෙ තව තවත් ශක්තිමත්ව ගලාගෙන යනව. කුසල් තමන් වෙත රඳව ගන්න සුවිනී නොකල දෙයක් නෑ. ගුරු හරුකම් පවා සුවිනී කරන්නේ " අනේ දුවේ මහත්තයා නම් රත්තරන් කඳක්" කියල අම්ම නියත විවරන දුන්නයින් පස්සෙ. දැන් සුවිනීගේ පවුලේ ඉටු දෙවියා වගේ ඉන්නේ කුසල්මෙච්චර කල් පුලු පුලුවන් හැටියට පවුලට යුතුකම් කොරපු සිරිලයියා වීසි වෙලාම ගියේ  පවුලම එකතු වෙලා පල නොකියා පලා බෙදුවට පස්සෙ.

 

මේ වෙනකොට සුවිනීගෙ විය හියදම් විතරක් නෙමෙයි , මුලු පවුලෙම බර තිබුනේ කුසල් ගෙ කරපිට. සාරධා කුසල්ටත් වඩා හරි හම්බ කරනවනේ, ඉතින් මදැයි තුන් දෙනාට, සුවිනී ගැන හිතුවේ එච්චර සැහැල්ලුවෙන්.

 

මේ පලහිලව්වේ මුල්ම හෝඩුවාව ලැබෙන්නෙ මිල්ටන් . මිල්ටන් හදන්නෙ බොර දියේ මාලු බාන්න . දැන් සුවිනී ලඟමයි මිල්ටන් " මිසී , මිසී " කියා ගත්ත ගමන්මයි. සාරධාගෙ වැරදි අඩු පාඩු මිල්ටන් කියන්නෙ හරියට සාරධා එක්ක පවුල් කන්නෙ මිල්ටන් වගේ. සුවිනීටත් ඉතින් ඒව  හරි ඉහලයි. සුවිනී රුපියක් සීයක් අත තිබ්බොත් ඉතින් තවත් වැඩී සාරධාගේ වැරදි. නමුත් සුවනී නොදන්නවා උනාට මිල්ටන් ගෙ ලමයින්ට උගන්නන්න සාරධා සෑහෙන මුදලක් දෙනවා, ඒත් මිල්ටන් ගෙ බීමට නම් සාරධා සතයක් දෙන්නේ නෑ.

 

තවත් ටික දවසකින් ආරංචිය සාරධාගේ කනටත් යනවා. සාරධා කතාව දැනගත්තම කුසල් කීවලු " ඔයා වෙන කාමරේකට යන්න කුසල් " කියලා. එච්චරමලු කිව්වෙ. ඒත් කුසල් කියපු විදිහට වෙනදා වගේම කුසල්ගෙ කෑම එක ලස්සනට පිලිවෙලට හදල දුන්නලු , තුන් දෙනා එක්කම ගමන් බිමන් ගියාලු. දුව ඉදිරියේ කිසිම වෙනසක් නැතුව කුසල් එක්ක කතා බහ කරාලු. " මහ අමාරුකාර අම්මන්ඩි කෙනෙක්, " සුවිනී කතාව අහලා කුසල්ට කිව්වෙ එහෙම.

 

ප්‍රශ්නය උග්‍ර වුනේ අන්තිමේදි මේක සුලාරී දැනගත්තම. එතකොටත් සුලාරී උසස් පෙල ලියන ලොකු කෙල්ලක්. සුලාරී ඉගෙනීම සෑහෙන දුරට අඩාල කර ගත්තය , වෙනදා මහන්සි වෙලා පාඩම් කරපු දරුවා අනේ දැන් දවසෙම නිදිලු, කා එක්කවත් කතාවක් නැතිලු  "අනේ මම නිසා මගේ දරුවගෙ ජීවිතෙ අඳුරට වැටුනා නේ" කියමින් කුසල් ඉකි ගගහා ඇඬුවත් සුවිනී උත්තරයක් තිබුනෙ නෑ දෙන්න.

කොම්පැනියේ නීති රීති රෙගුලාසි වලට අනුව නියම් හෝ අනියම් ඇසුරු තහනම් කොම්පැනිය ඇතුලේ. එහෙම උනොත්  කියන්නේ එක්කෙනෙක් රස්සාවෙන් අයින් වෙන්න ඕන.        

මේ වෙනකොට කුසල් හිටියේ හරිම ප්‍රශ්න ගොඩක. කොම්පැනියෙන් විතරක් නෙමයි තමන්ගේ පවුලේ දෙමාපිය , සහෝදර,යාලු හිත මිත්‍රාදීන් පවා ඔහුට විරුද්දවයි කතා කලේ. " මොන තරම් මෝඩයෙක්ද බං උඹ, අච්චර  අර ශ්‍රියා කාන්තාවක් වගේ ඉන්න ගෑනියි , මලක් වගේ දරුවෙකුයි දාලා අර කුනු ගොඩකට කර ගහන්න" ඔවුන් කිව්වෙ එහෙමලු.

 

නරක කාල  එනකොට ඔක්කොම එකපිට කියලා මේ අතර කොම්පනියේ මුදල් අවභාවිතා කලා කියල කුසල් තාවකාලික වැඩ තහනමක් එනව. කියන්නේ සුවිනී තාමත් පුලුවන් වැඩ කරන්න එතන. නමුත් සුවිනීට ඉහ ගහං වැඩ කරන්න ලේසි උනේ නෑ, කන්තෝරුවේ හැමෝම ඈට විරුද්දවයි හිටියේ. මිල්ටන් පවා, මොකද මිල්ටන් තේරුනා දැන් පිහිටට ඉන්නේ සාරධා නෝනා විතරයි කියලා. ඵල ඇති රුකටනේ වවුලොත් වහන්නෙ. ඉතින් ඇනුම් පද උදේ රස්සාවට ගිය වෙලේ ඉඳන්. සුවිනී මේවා කුසල් කියන්නෙ හැඬූ කඳුලින්.

 

"තාත්තා කෙනෙක් වෙන්න ආසද ආයෙත්"  ගහෙන් ගෙඩි එන්නැහේ සුවිනී අහනව කුසල් ගෙන්.

"පිස්සුද , මට ඉන්නෙ මගේ දුව, මේ කරදර ගොඩට හොඳයි තව ලමයෙකුත් හැදුවා”

" දැන් ඉතින් කරන්න දෙයක් නෑ , කැමති උනත් නැතත් ඔයා ආයෙත් තාත්තා කෙනෙක්, මේ දරුවටත් අර මහ ලොකු දූ පොඩ්ඩ වගෙම හරි ඊටත් වැඩියෙන් හරි සලකන්න, බලන්න වෙයි" සුවිනී කියන්නෙ මහා තරහවකින්.

" අපිට දරුවෙක් හදන්න බෑ සුවී , මගේ දරුවා මට සාප කරයි  , මේ දරුවත් අසරන වෙයි" කුසල් කියන්නෙ හරිම අසරනව.

 

" නෑ මේ දරුව මට ඕනමයි , මම හදනව , ඔයා අර ගෑනිගෙන් දික්කසාද වෙල එන්න , අපි වෙනම යමු පදින්චියට"

 

කොහොම හරි දික්කසාදෙ නම් උනේ නැති උනත්, වෙනම පදින්චියට යෑමෙ සුවිනී ගේ අසාව නම් ටික කාලෙකින්  ඉටු වුනා.

 

"මොකක්ද අර ගෑනි කිව්වෙ ? රැස් බැහැල ඇති දැන් " සුවිනී උපහාසයෙන් කිව්වෙ තමන්ගෙ ඇඳුම් කැඩුම් ටිකත් උස්සන් කුසල් ඔවුන් අලුතෙන් මිලට ගත් නිවසට ගොඩ වෙන කොටමයි.

කුසල් සන්තක සියලු තැන්පත් ධනය මේ නිවස වෙනුවෙන් ඔහු යෙදෙව්ව. එහෙම කරේ උපදින්න ඉන්න දරුවා ගැන හිතලා.

" ගෑනි වචනයක් කිව්වෙ නෑ , මම ගෙදරින් දොට්ට බහින කොට දුවවත් තුරුල් කරන් බයවෙලා වගේ බලන් හිටියා මිසක් , වචනයක් කියන්න එපා සාරධාට විරුද්දව ,. උඹට මාත් එක්ක ජීවත් වෙන්න  ඕන නම්. මගේ වැරදි වලට   අහිංසක ගෑනි පලි නෑ"

 

කුසල් ප්‍රථම වරට සුවිනීට එරෙහිව කට හඬ එසෙව්වා.

 සුවිනී බඩත් උස්සගෙන වැඩට යනවා. කුසල් අකුසල් පලදීමෙන් වගේ රස්සාවත් අහිමිව ගෙදරට වෙලා සුවිනීට උයා පිහා දෙනවා. වගේම සමහර වෙලාවට ඔහු උපදේශකයෙකු ලෙස සමහර ආයතන වලට සේවා සපයනවා. ඉඳ හිට පැරනි මිතුරෙකු හමුවෙන ඔහු සාරධා ගැනත් සුලාරී ගැනත් විස්තර දැනගන්නවා. අම්මත් දුවත් ටිකෙන් ටික මේ උන දේවල්  අමතක කරමින් ආයෙත් ජීවිතෙට මූන දෙන බව කුසල් දැනගන්නේ මිතුරන් ගෙන් .සුලාරී වෛද්‍ය විද්‍යාලයට තේරුන දවසේ බව අසා කුසල් හඬා වැටෙන්නේ සතුටත් දුකත් අතර සිතුවිලි මැද. මේ ආරංචිය නම් ඔහුට දෙන්නේ සාරධාමයි , දුරකතනෙන් ඔහු අමතලා.

 

"මෙයා මේ උඩ පනින්නේ මේ ලෝකේ කිසි කෙනෙක් මීට කලින් මේවට තේරිලා නෑ වගේනේ" සුවිනීට සුලාරී ගෙ ඊටත් වඩා සාරධාගෙ මේ ජයග්‍රහනය රිස්සුම් දෙන්නෙ නෑ.

 

"උඹ මේ වගේ නපුරු දුශ්ඨ දුර්ජන ගෑනියක් කියල මම මීට කලින් දැනගත්තෙ නැති එක මගේ කාලකන්නි කම, ගෑනියේ අර අහිංසක ගෑනි නියම අම්මා කෙනෙක්, මම අත ඇරියත්  මගෙ පව්කාරකමට,  මගෙ දරුවගෙ අත ගෑනි නෙමෙයි අත ඇරියෙ, පුලුවන් නම් බලාපන් මේ දරුවට අඩු තරමෙ සාරධාගෙ බාගයක් තරම වත්  වටින අම්මා කෙනෙක් වෙන්න

 

මේ කතා බහ ඉවර උනේ දෙන්නගෙම හිත් බිඳිලා, අනුරාගයේ උනුසුමත් දැන් දැන් වියැකී යමින් තිබුනෙ. සාරධාගෙ අගය වටිනාකම කුසල් වැඩි වැඩියෙන් දැනෙමින් තිබුනා.

 

සුවිනී නෙතාරට උපත දුන්න දවසේ නම් කුසල්ට ඇත්තටම සතුටු දවසක්.ඒත් සතුට අතරේ සුලාරී උපන් දවස මතකයට එන එක ඔහුට වලක්වන්නත් බැරිවුනා. සුලාරී තම පපුවෙන් කිසිවෙකුට වඩා වැඩි කොටසක් අත් කරගෙන බව තේරුම් යන කොට කුසල්ට "ආයෙත් කාලයේ ආපස්සට ගිහින් මම කල වැරැද්ද හදා ගන්න පුලුවන් නම්යැයි හිතුන තරම්.

 

නෙතාරා ටිකෙන් ටික ලොකු වෙන තරමටම සුවිනීත්, කුසලුත් එකිනෙකාගෙන් දුරස් වුනා. කුසල් රස්සාවක් නොකර ඉන්නෙක සුවිනීට දරා ගන්නම බැරි උනා. සුවිනී ගෙ දරුව බලන්න ගමෙන් පැමිනි නෑ සනුහුරෙත් දැන් කුසල් ගෙන් තවදුරටත් තමන්ට ඵල ප්‍රොයෝජනයක් නැති බව තේරුම් ගෙනයි තිබුනේ.

කලක් "මහත්තයා නම් රන් කඳක්" කියපු සුවිනී ගෙ අම්මගෙ කටින්ම " කසාදත් බැඳල නැති එකේ , මේ ගේ වත්ත උඹ නමට ලියං, සල්ලි තැන්පතුවකුත් ඉල්ලං , ඔන්න ඔය මනුස්සයාට යන්න දීපන් යන තැනක , ඊට පස්සෙ උඹ වෙන කෙනෙක් බැඳගනිං, ලමයෙක් හිටියට ගේ දොර තියෙනවනේ , හොඳ මිනිහෙක් හොයා ගත්තෑකි" කියවෙන තරමටම කටයුතු සිද්ද උනා.

 

නෙතාරට අවුරුදු පහක් පමන වෙනකොට කුසල් තීරනය කරනවා වෙනම ජීවත් වෙන්න. තව දුරටත් සුවිනී හා වාසය ඔහුව කලකිරීමට පත් කල නිසාවෙන්. ඔහුට මේ වනකොට වඩා හොඳ රැකියාවක් අලුත් කොම්පැනියක ලැබිලා තිබුනා. තනිවම උයා පිහන් කාල තනිවම ජීවත් වෙන එක ඔහුට සැනසීමක් උනා. ඒත් ඔහු මසකට දෙවරක් නෙතාර බලන්න යන එකත් , සුවිනීට  දරුවාගේ වියදම් දීමත් නොකඩවා සිදුකලා.

එක දවසක වැඩ ඇරිලා ගෙදර ඇවිත් විවේකයෙන් ඉන්න මොහොතක කුසල් ගේ නිවසේ සීනුව නාද වෙනව. ගේ දොරකඩ සාරධායි, සුලාරී යි. සුලාරී නම් පැනපු ගමන් තාත්තාව බදන් අඬනවා. සාරධාට මූන දෙන්න කුසල්ට හයියක් නෑ, ඒත් ඇවිත් වාඩි වෙන්න කියනව.

 

“දුව දැන් වැඩිහිටියෙක් නිසා අපි මේවා දුව ඉස්සරහ කතා කරාට කමක් නෑ කුසල්, ඔයා දැනගන්න මම කවදාවත් ඔයාව වැරදි කාරයෙක් කරේ නෑ මේ වෙච්ච දේවල් වලට, එහෙම වෙන්න තිබුනා , ඉතින් එහෙම උනා කියල මම මගේ හිත හදා ගෙනයි ඉන්නෙ , මොනදේ උනත් තාමත් ඔයා මගේ මහත්තයා , දුවගේ තාත්තා, ඒක වෙනස් වෙන්නේ නෑ. ඉතින් ඔයා මෙහෙම තැන් තැන් වල තනියම දුක් විඳින්න ඕන නෑ, අපි යමු ගෙදර කුසල්

සාරධාගේ වචන කුසල් ගොලු කරා.

'අනේ තාත්තී අපි යමු ගෙදර " සුලාරී ත් කියනවා.

" ඒත් සාරධා මිනිස්සු මොනව කියයිද"

"මේ අපේ පවුල කුසල් , අපිට හොඳ දේ මිසක් ඇයි අපි අනිත් අය හිතන , කියන දේ ගැන කලබල වෙන්න"

"මට ඉඳ හිට නෙතාර බලන්න යන්න වෙනවා"

" මම දන්නව ඒක , තාත්තා කෙනෙක් ගෙ වගකීම නෙ, හැබැයි එච්චරයිනෙ ඔයාගෙ වගකීම" සාරධාගෙ කතාවෙ නොකියා කියූ දේ කුසල් තේරුම් ගන්නව'

' ඔව් එච්චරයි" කුසල් පොරොන්දුවක් දෙනව.

කුසලුයි , සුලාරියි , සාරධායි අලුතෙන් පරන ජීවිතෙ අරඹනව.

සුවිනී නෙතාරා එක්ක ජීවත් වෙනව.

 

කිව්වා වගේ කුසල් මාසෙකට දෙසැරයක් නෙතාරා බලල , ඈත් සමග දවස ගතකර යනව. සුවිනීත් කුසලුත් අතර දැන් කිසිම විදිහක ආකර්ශනයක් නෑ. දෙන්න නෙතාරගෙ දෙමපියන් වීම විතරමයි එකම බැඳීම.

 

සුලාරී වෛද්‍යවරියක් ලෙසට දිවුරුම් දුන් දවසේ නම් සුවිනී ඉරිසියාවෙන් පුපුරනවා. නෙතාර ඉගෙනීම ගැන වැඩි උනන්දුවක් තිබුන ලමයෙක් නෙමෙයි . සුලාරී වෛද්‍යවරියක් වීම සුවිනී දැක්කෙ තමාත්, නෙතාරත් ලබපු පරාජයකුත් සාරධාත් සුලාරීත් ලැබූ ජයග්‍රහනයකුත් විදිහට.

 

නෙතාරා තාම පොඩි දරුවෙක්, එයාගෙ දක්ශකම් මතුවෙන්න තව කල් තියෙනව සුවිනී , බලන්නකො කෙල්ල කවද හරි දක්ශ චිත්‍රකාරියක් වෙයි. නෙතාර අඳින චිත්‍ර දිහා බලන් කුසල් කිව්වම සුවිනී තවත් තරහයි.

 

" ! අරයව දොස්තරෙක් කරල මගෙ ලමයව චිත්‍ර කාරයෙක් කරවන්න ? ඒව හරියන්නෙ නෑ , කවදාහරි මෙහෙ බැරිනම් පිටරට යවලා හරි මගෙ ලමයත් දොස්තරෙක් වෙන්නම ඕන" . ඔන්න සුවිනී පුපුර හැලෙනව.

 

ඔය කතාව නිසා හිත බිඳෙන කුසල් එදා වැඩි වෙලා ඉන්නෙත් නැතිව යන්න යනව. ඊට පස්සෙ දවස් ගනනාවක් යනකන්ම සුවිනීට කුසල් ගැන කිසිම තොරතුරක් නැතිව යනවා. සුවිනී කොච්චර උත්සාහ කරත් මොනවත්ම දැනගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔෆිස් එකේ කාගෙන්වත් අහන්නයැයි , එතන කවුරුත් සුවිනී එක්ක වැඩි ඇයි හොඳයියක් තිබුනෙත් නෑ. මිල්ටනුත් සුවිනී දැක්ක දුටු ගමන් මග අරින්නේ බූමිතෙල් දාපු ගැරඬියෙක් වගේ. කුසල්ගේ ජංගමයා වැඩ කරෙත් නෑ, සුවිනීට ගෙදරට කතා කරන්නත් හයියක් තිබුනේ නෑ. සාරධා ගත්තොත් මොනවද කියන්නෙ කියල සුවිනී දැන හිටියේ නැති නිසා. කුසල් වැඩ කරන අලුත් කොම්පැනිය සුවිනී දන්න තැනකුත් නෙමෙයි. ඉතින් මේ දවස් වල සුවිනී ඉන්නේ ගිනි ගොඩක.

 

කුසල් අමනාප වෙලා යන්නම ගියාද? එතකොට කෝ නෙතාරාට තාත්තා කෙනෙක්. නැහ්!! කුසල් එහෙම කරන කෙනෙක් නෙමෙයි " සුවිනී ආයෙත් හිතනව.

 

හැබැයි අද සෙනසුරාදා නිසත් , කුසල් අන්තිමට ඇවිත් ගිහින් සුමාන තුනකටත් වැඩි නිසාත් අද නම් කුසල් එයි කියලයි සුවිනී මග බලං ඉන්නේ.

නෙතාරාත් උදෙන්ම ගේට්ටුව ලඟට වෙලාම ඉන්නෙ එයාටත් එහෙම හිතුන නිසා වෙන්න ඇති.

 

සද්ද බද්ද නැතිව පැය කීපයක් ගෙවුනා , බලාපොරොත්තු ඇතිව ගේ ඇතුලේ වැඩක් කරමින් හිටපු සුවිනී ඉක්මනට ගේ ඉස්සරහා දොර දිහාට ආවේ ගේට්ටුවෙන් වාහනයක් හරවනවා ඇහුන නිසයි. නෙතාර තාත්තී තාත්තී, , කියමින් පැමිනි ජීප් රිය අසල උඩ පනිනවා.

 

"අහ්! කුසල් අලුත් ජීප් එකක් අරන් වගේ" හිතමින් සුවිනී ඉස්සරහටම ආවා.

 

නමුත් රියෙන් එලියට බැස්සේ සුලාරී , රියදුරු අසුනේ සාරධා.

 

මේ මොකද මේ ?, සුවිනී ඊට වඩා දෙයක් හිතන්න ලැබුනෙ නැහැ.

 

" අනේ ආන්ටී .. කියමින් හඬාගෙන පැමිනි සුලාරී සුවිනී බදා ගන්නෙත් , රියෙන් බැහැපු සාරධා නෙතාරා වඩා ගන්නෙත් එකම මොහොතෙයි.

 

සුවිනී වචන එන්නෙ නැහැ මුකුත්ම කතා කරගන්න , ඇයව බදාගෙන හඬන සුලාරීව තදින් වැලඳ ගෙන ඉන්න එක විතරයි  කරන්න පුලුවන් උනේ.

 

කතා කරන්න තරම් හුස්මක් ගන්න පුලුවන් වුන හැටියෙම සුලාරී ඉකි බිඳුම අතරින්ම " අනේ ආන්ටී අපේ තාත්තී අද පාන්දර අපිව දාලා ගියා ආන්ටී,අනේ අපිව දාලා එක පාරටම යන්න ගියා ආන්ටී, " කියමින් නැවතත් හඬා වැටුනා.

 

සාරධා නෙතාරා වඩා ගෙනම ඉකි බිඳිනව කඳුලු අතරින් සුවිනී දකිනවා .. නෙතාරත් මරුවෙන් මාරුවට මේ වැලපෙන කාන්තාවන් දිහා බලමින් අඬනව.

 

 " අනේ පුතේ " කියමින් සුවිනී සුලාරීව බදා ගන්නව. සුලාරී ලඟින් සුවිනීට දැනෙන්නෙත් කුසල්ගේ සුවඳමයි.

 

එකම ආදරයක් වෙනුවෙන් කඳුලු හලන ගැහැනු හතර දෙනෙක්,තනිව උසුලා ගත නොහැකි වූ විප්‍රයෝගයේ සංවේගජනක බව විසින් එකතු කල , එකට එක්වී කඳුලු හලන ගැහැනු හතර දෙනෙක්.

 

නිලූ සේනාධීර

 

25.05.24


Comments

Post a Comment

Popular Posts