අම්මා ඉගැන්වූ පාඩම්. අරපරිස්සම...
අපි කුඩාවුන් සන්දියේ සිටම දුකද සැපද එකසේ වින්දවුන් වෙමු.තාත්තාට පරම්පරාවෙන් හිමිවූ චන්ද්‍රගිරිය නම් වූ ඒ විසාල, පෞරානික නිවසේ එකම ආදායම් මාර්ගය තාත්තාගේ වැටුප පමනක් වූ නිසාවෙන් අම්මාත් , තාත්තාත් , අයියාත් , මමත්, මල්ලීත් වන පස් දෙනෙක් ගෙන් වූ අප පවුල සුවසේද, තාත්තා පිට රට රැකියාවකට ගිය පසු ඉතා සුව පහසුවද දිවි ගෙවිමු.නමුත් ගෙදර හෝ රටේ ආර්තිකය මොන මොන පෙරලියකට ලක් වුවත් අපිව කිසිම දිනක, කිසිම වේලාවක බඩගින්නේ නොතැබීමටත් කිසිම අඩු පාඩුවක් අපිටනොදීමටත් අපේ අම්මා වග බලා ගත්තාය.
හාල් පෙට්ටියෙන් මැන බලා මුට්ටියට දමන සහලින් ඇය නොවරදවා එක් හාල් මිටක් වෙනම මුට්ටියකට දැමුවාය. මතක ඇති කිසිම දිනක අපිට කන්නට බත් මදි නොවූවා සේම ගෙදරට වේලාවේ අවේලාවෙ පැමිනෙන ඕනෑම කෙනෙකුට සන්ග්‍රහ කිරීමට ඇති තරමට බත් ඇගේ මුට්ටියේ ඇත. එසේම එදිනෙදා කෑමට හාල් මදි පාඩු විටක නොවරදවා ඇති තරම් සහල් ඇගේ සහල් සන්චිතයේ ඇත. දුප්පතෙකුට සහල් හුන්ඩුවක් දෙකක් දීමටත් , කුරුල්ලන්ට කෑමට දැමීමටත් මේ සහල් අපිට ප්‍රයෝජනවත් විය.
ගෙදර
ඉතුරුවන බත් මගෙ අම්මා
කිසිම විටෙක වීසි නොකලාය. පිරිසිදු
කුල්ලක හෝ තැටිකය දමන
ඉතුරු බත් ඒ උඩින්
පොල්කොල කීපයක් රඳවා ගිනි ගහන
අව්වේ වේලෙන්නට තබයි. පොල්කොල උඩින් තියන්නේ කපුටන් සහ කුරුල්ලන් ඒ
වෙත ඒම වැලැක්වීමටයි. මේ
අව්වෙන් කර වෙන්න වේලගන්නා
බත් කුඩු කොට, පොල්පැනි
සහ ගම්මිරිස් යහමින් යොදා ගුලිකර අග්ගලා
සාදයි. මෙම අග්ගලා වැසි
කුනාටු සහිත වෙරලබඩ සවස්
යාමයන්හී උනු උනු තේ
සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී උනු කැවුම්
වලටත් වඩා වේගයෙන් අපි
තිදෙන ගිල දමමු. ඒ
දෙස බලා ඉන්නා මගේ
අම්මාගෙ සතුට පිරි දෙනෙත්
මට දැනුඳු මැවී පෙනේ.
මුහුදට
ආසන්නයේ ජීවත් වූ අපිට මුහුදු
මාලුන්ගෙන් අඩුවක් වූයේ නැත. අප
ගේ පිටිපස වත්තේ පර්චස් සෑහෙන ගනනක බිම් ප්‍රමානයක්
අපේ තාත්තා විසින් මසුන් මරන්නන්ට ධීවර ආම්පන්න , ඔරු
, රුවල් රෙදි , දැල් දැමීටට මඩුවක්
සදාගැනීමට පරිත්‍යාග කර තිබුනෙන් අපිට
ඒ කලගුන දත් ධීවරයන් විසින්
බොහො විට මාලු නොමිලේ
සැපයුනි. වත්තේ පොල් ගස්ද උවමනා
පමන තිබු හෙයින් අපිට
අලුත් මාලුත් , පොල් සම්බෝලත් සමඟ
තවත් දෙතුන් ජාතියක් අපේ අම්මා අපිට
කෑමට දුන්නාය. අහේනි , අසීරු කාල වලදී වත්තෙන්
කඩා ගත් කලවම් පලා
මැල්ලුම් නොවරදී. කලවම් පලා මැල්ලුමට පැශන්
ෆෘට් , කුප්පමේනියා,රනවරා,ඇත් තෝර , පෙති තෝර, මොනර කුඩුම්බිය වැනි
කොල වර්ගද, එසේ නැත්තම් කරල්
හැබ හෝ පිට සුදු
සාරන කොල වත්තෙන්ම සොයා
රසට උයයි. අලු කෙසෙල් , වැටකොලු
ලෙලි කිසි දිනක විසි
නොකරන මගෙ අම්මා කරවල
සමඟ ඒවා තෙල් දමයි.
මේවා සමඟ බත් පිඟන්
දෙක තුනක් වුවද ලේසියෙන්ම වග
කිව හැක.
වාරකන් කාලයේදී අපේ වත්තේ අම්මා
විසින් සිටුවා රැකබලාගත් කෙසෙල් ගස්ද පැපොල් ගස්
ද හුලඟට බිමට කඩන් පාත්වේ.සමහර කෙසෙල් ගස්
මල් දරා සිටී, ලපටි
කැන් දරා සිටී.කඩවැටුනු
පැපොල් ගස්වල ගෙඩි සී සී
කඩය. නමුත් මේවායින් මගේ අම්මා නොපසුබටී.
කෙසෙල් මලින් (කෙසෙල් මුව) කූනිස්සන් දමා
රසවත් තෙල් දැමුමක් සාදන
ඇය, ලපටි කෙසෙල් කැනින්
කොස් ඇට දමා ඉතා
රසවත්ව කිරට හින්දවූ කරියක්
සාදා , ගස් ලබු පොල්
දමා මැල්ලුමක් සාදයි. කිසිම දෙයක් නිරපරාදේ වීසි කිරීම මගේ
ආදර අම්මාගේ සිරිත නොවේ.
අපිට
මුදල් අවශ්‍යතාවයකදී හැමවිටකම ඇය අපිට එමුදල
කෙසේ හෝ සොයා දෙයි.
ඇගේ අල්මාරියෙ උඩ කොලයක් දමා
තිබේ. ඒ ඇය මුදල්
සඟවනා රහස් බැන්කුවයි. අපිට
කඩචෝරුවක් කන්නට වූ විට අපි
ඒ නිසැක ස්ථානයෙන් මුදල් අස්ථානගත කරන්නෙමු. ඈ ඒ හොඳින්
දැන සිටියත් ඒ බව විමසා
අප තිදෙන අපහසුතවයකට පත් නොකලාය.
අපේ
නිල නොලත් වෛද්‍ය වරයාද අපේ අම්මාය. ඇය
ලඟ අත් බෙහෙත් , කෙම් ක්‍රම
අටෝ රාසියකි. කට්ටක් ඇනුනොත් පොල් සමඟ කහ,
සීනි බඳියි.කට්ට පහුවෙනිදාට කහ
පොල් සීනි බැඳි රෙදි
පාන්කඩයේ දිස්වේ. මේවා විශ්වකර්ම වැඩය.
ඉඟුරු,සුදුලූනු ගම්මිරිස් කුඩා රෙදි පොට්ට්නියකට
දමා හක්කේ තියා කටට යටින්
පොල් කටුවක් තබයි. කටේ ,උගුරේ සෙම
නූලට අර පොල් කට්ටට
බෙරේ. සෙම වැඩි නම්
මෙය අත් හදා බැලීමට
යෝග්‍යය.
පනුවන්
නොසෑදන්න වලඟසහල්
මීපැනියෙන් අඹරා දේ.අපිට
කුඩ කාලයේ කිසිදා පනු අමාරු සෑදී
නැත්තෙ ඒනිසා බව මම තරයේ
විශ්වාස කරමි. දැන් නම් මේ
වලඟසහල් පාවිච්චි කරන්නන් තබා ඒ ගැන
ඇසූවන් පවා ඇද්දයි මම
සිතමි.
අම්මාගේ
හොඳම සහ අපි කැමතිම
අත් බෙහෙත නම් බඩේ අමාරුවට
දෙන එකය. එය සාදන්නේ
බ්‍රැන්ඩි වලට , කරඳමුන්ගු, කරාබුනැටි සමඟ ගම්මිරිස් ඇට
කීපයක් දමාය. පරන බ්‍රැන්ඩි බෝතලයකට
දමා එය හන්ගන්නේ අම්මාගේ
අල්මාරියේ යටම තට්ටුවේ කොනකය.අපිට නිතර හැදෙන
නොයෙක් තාලයේ බොරු සහ ඇත්ත
බඩේ අමාරු වලට එකම විසඳුම
එයය.ඇස් වලින් තරුද,
කනෙන් දුම්ද බඩේ ගිනිගුලිද සමඟ
අමාරුව එක වඩියෙන්ම නිට්ටාවට
සුවවේ. වඩිය වනාහී මේස
හැන්දෙන් එකකි. නමුත් පසුකාලීනව අපි
තිදෙන , විශේශයෙන්ම අයියා නිතර නිතර බඩේ
රුදා වලට ලක්වී මෙම
බෙහෙත ලෙඩා විසින්ම වෙදා
ගෙන් ඉල්ලන අසාමාන්‍ය තත්ත්වයත්, බෙහෙත් ගබඩාව වෙදා ගේ අනුදැනුමෙන්
තොරව ඉබේමෙන් අඩුවී යන තත්ත්වයක් පෙනීගිය
නිසාත් ,වෙදා විසින් මෙම
අල්මාරියේ බෙහෙත් ශාලාව වසා දමන ලදි.
මම කුඩා කාලයේ සිටම
මෝස්තරයට ඇඳීමට ප්‍රිය කලෙමි. මගේ අම්මා අසල්වැසියන්ට
ඉතා හැඩටඇඳුම් මසා අමතර ආදායමක්
ඉපැයුවාය. මින් ඉතුරු බිතුරු
රෙදි කෑලි වලින් ඇය
මට මම කියන කියන
මෝස්තරයේ ඇඳුම් මසා දුන්නාය. අයියා
සහ මල්ලීගේ විශේශ ඉල්ලීමකට, එකල ඉතා ජනප්‍රිය
ඇබා බෑන්ඩ් ඒකේ ABBA ලෝගෝව එම්බ්‍රොයිඩර් කර කැප් තොප්පි
මසා දුන්නාය. මෙහි බී අකුරු
ප්‍රතිවිරුද්ද පැති බලා සිටී.
මේ කැප් පලඳා උජාරුවෙන්
යන අයියයි මල්ලියි අහල පහල කොල්ලන්ගේ
ඉමහත් ඊර්ශ්‍යාවට බඳුන් විය.
අපේ අම්මා මේ
සියල්ල කලේ නැති බැරි නිසා නොවේ.අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් වශයෙන් හොඳ ජීවිතයක්
ගත කලෙමු. අසනීපයකට බෙහෙත් ගැනීමට අපේ අම්මාගේ අයියා අපෙන් කිසිඳු මුදලක් අය නොකලේය.
ඔහු වෛද්‍යවරයෙකි. එසේම අපිට කෑමෙන් බීමෙන්ද අඩුවක් තිබුනේ නැත. මිල මුදල්ද තරමකට ජීවත්
වීමට සෑහෙන මට්ටමකට විය. නමුත් මේ අරපිරිමස්මේ පාඩම අපිව යහපත් මිනිසුන් කල බව නම්
ඇත්තකි. අපේ අම්මා මේ ආදර්ශයෙන් දුන් පාඩම් දෙස කුඩා ලමයින් ලෙස අපි අවධානයෙන් බලා
සිටියෙමු. උගෙත්තෙමු. අද වැඩිහිටියන් ලෙසට අපිට පොලවේ පය ගසා ජීවත් වීමටත් , ඕනෑම ආර්ථික
තත්ත්වයකට අනුරූප වීමටත් පෙරහුරුව, ආදර්ශය අපේ අම්මා අපිට ලබා දී තිබේ.
අදද මම මගේ
අම්මගෙන් උගත් පාඩම් හැකි පමනින් එදිනෙදා ජීවිතයට යොදා ගනිමි.ඇය අනුව යන්නට හැකි සෑම
අවස්තාවේම උත්සාහා කරමි. මගේ ගෙදර අලු කෙසෙල් පොතු, වැටකොලු පොතු කුනු බක්කියට යන්නේ නැත.මම
හදන ඉතුරු බත් අග්ගලා මගේ දුවගේ ප්‍රියතම කෑමකි. හැකි සෑම විටම අම්මගේ අත් බෙහෙත් පාවිච්චියට
ගමි. මගේ මහත්තයා මුලදී මේ අත් බෙහෙත් ගැන සැකයෙන් බැලුවත් ,දැන් දැන් ඒ බෙහෙත් විශ්වාසයෙන්
පාවිච්චි කරයි.
අම්මා අනුව
යමින් මම මගේ පුන්චි ඉඩමේ හැකි අයුරින් එලවලු , පලා , මිරිස්, කරපින්චා, තක්කාලි වගා
කරමි. අපිට වැවිය හැක්කේ වසන්ත, ගිම්හාන කලයන්හිදී පමනක් වුවත් උත්සාහය අත් නොහරමි.වැඩි
ඵලදාව අධි ශීතගත කොට පසුව පාවිච්චියට ගනිමි.
ලැබෙන දේ, ඇති
දේ ,පරිස්සමින් පාවිච්චියට ගනිමින් ජීවත් වෙන්න වෙර දරමි. ඒ මගේ අම්මා කියාදුන් පාඩමයි.
අපිට යහමගට
ගන්න, හොඳ මිනිසුන් කරන්නට ඇගේ මුලු දිවියම කැප කල මගේ අම්මා නිවනින් නිවී සැනසේවා!
මිණි මිණි පොදේ
(miniminipode.blogspot.com)
නිලූ සේනාධීර
12.11.23
ඉතාමත්ම සතුටුයි!
ReplyDeleteකාරණා කිහිපයක්ම නිසා.
ඉන් පලමුවැන්න සිංහල බ්ලොග් ලෝකයට අලුතින් බ්ලොග් ලියන්නියක් එක්වීම. බ්ලොග් යනු වත් පොතට එහා ගිය සුන්දරවූත් පෞද්ගලිකවූත් වේදිකාවක්. තවත් ලෙසකින් එය ඩිජිටල් දිනපොතක්. එහි දිගටම ලියාගෙන යෑම පුරුද්දක් විය යුතු බව මගේ හැඟීමයි. මන්ද වත් පොතේ මෙන් පාඨකයින් බොහෝ ගනනක් නැතිව දිගින් දිගට ලිවීමට ඒ පුරුද්දයි ඉවහල් වෙන්නේ.
ඔබ ඔබේ මව පිළිබඳව ලියා ඇති බොහොමයක් කරුණු මතින් මම; මගේ අම්මා ළඟට ගියා. මට හිතෙන්නේ ඒ කාලේ සිටිය බොහෝ මව් වරුන් සතු ගුනාංග අඩු වැඩි වශයෙන් සෑම අය තුලම දකින්නට ලැබුනා වාගෙයි.
ඉතුරු රෙදි වලින් ඇඳුම් මැසීම, වැටකොළු අළු කෙසෙල් ලෙලි ප්‍රයෝජනයට ගැනීම , ඉතුරු බත් වලට කරණ විශ්ව කර්ම වැඩ, තාත්තා දෙන මුදලින් කොටසක් ඉතුරු කිරීම, අත් බෙහෙත්, මේ ඒ අතුරින් ඔබගේ ආදරණීය මවත් මගේ මවත් සමපාත වන අවස්ථා කිහිපයක්.
ඒ වගේම එයාලට තිබුනා ඕනෑම; ජීවිතේට කා නැති කෑමක් වුවත් එක වරක් රස විඳපු පසු එය සෑදීමට පුදුමාකාර හැකියාවක්. අවාසනාවකට හෝ කෑමක් හදන්නට ගොස් කිසියම් අවුලක් උනත් එය ගොඩ දාගන්නා ආකාරය එයාලා දැණ සිටියා. ඉවත දැමීමක්නම් වෙන්නේම නැති තරම්.
ඉතින් දිගටම ලියන්න. ඊළඟ සති අන්තයේ නැවත හමුවෙමු.
මට කියන්න බැරි උනා.
අපේ අම්මට ඔයාගේ අම්මා හම්බුනාද දන්නේ නෑ නේද දිව්‍ය ලෝකෙදි?
ස්තූතියි මංජුල අයියා මාව දිරිගැන්නුවාට මෙම බ්ලොගය පටන් ගන්න. හිතේ කාලයක ඉඳන් තිබුන හීනයක් වුනත්, අද පටන් ගන්නව, හෙට පටන් ගන්නවා කියලා හිත හිත හිටියත්, ඔබේ මග පෙන්වීම , දිරිගැන්වීම් නිසාමයි මෙය මෙවෙලාවේ යතාර්ථයක් වුනේ. එයට ඔබට මගේ මේ තුති මල් මිට.
Deleteඅම්මා නැතිවෙලා තුන් මසක් ගතවුනත්, තවමත් මම ඒ දුක්මුසු , කාන්සියෙන් මිදුනේ නැහැ. ඉතින් මම මගේ ඒ දුක දරාගන්නයි , අම්මගේ ආදරය සහ මම අම්මාට ඇති ආදරය සමරන්නයි තමයි අම්මා ගැන ලියන්න පටන් ගත්තේ. මම හිතුවේ අම්මාගෙන් මම උගත් පාඩම් කොටස් කීපයක් ලියන්න. එක දිගටම නෙමෙයි වෙන වෙන මාතෘකා අතරේ.
අපේ අම්මලා එකම පරපුරේ නිසා ඒ අයගේ ඇවතුම් , පැවතුම් එක වගෙ වෙන්න ඇති. ඒ වගෙම ඒගොල්ලො දිව්‍ය ලෝකෙ ඉඳන් අපේ බ්ලොග් කියවනවත් ඇති.
ඔව්, දිගටම ලියන්නයි අදහස. 😊
බ්ලොග් ලොවට සාදරෙන් පිලිගනිමු✌!
ReplyDeleteඑදා මව්වරැන්ගේ අරපිරිමැස්ම, ඒ හැකියාවන්, ගුණාංග... ❤🙏
ස්තුති නමියා.. ඔබගේ දිරිගැන්වීමට බොහොම ස්තුති.😊
Deleteවැනි වැනි නොසිට ආවෙමි මම මේ දෙසට
ReplyDeleteමිනි මිනි පොදේ තෙමෙන්න හිත් දේ යසට
පිණි රැඳි මල් කළඹ සරසාගෙන හැඩට
තනි නොව සැවොම පිළිගන්නෙමු බ්ලොග් ලොවට.....
ආයුබෝවන් .....
සුන්දර බ්ලොග් ලොවට ....
ජයවේවා !!!
වැනි වැනි නොසිට මේ දෙසට ආවට
Deleteමිණි මිණි පොදේ තෙමෙන්න හිත් ලෑවට
ගෙනවිත් දුන් එපිණි පිරි මල් වලට
තුතිමල් මිටක් මාගෙන් මේ දුමින්දට...
සුපිරී. ලස්සනට ලියලත් තියෙනෝ...
ReplyDeleteදිගටම ලියමූ🤗💕👌
බොහෝම ස්තුතියි නවීන්. දිරිගැන්වීමට බොහෝම ස්තුතියි😊
Deleteතට්ටයියා පාර කිව්වෙ. කියවන්න ආපහු එන්නම්
ReplyDeleteබොහෝම ස්තුතියි ඩ්‍රැකී. දිරිගැන්වීමට බොහෝම ස්තුතියි😊
Deleteජයවේවා
ReplyDeleteබොහෝම ස්තුතියි රසික. මම දිගටම ලියනවා, දිගටම කියවන්න.මම කොහොමද ඔයාගෙ ගේය පද සංචිතයට ලියන්නේ.😊
Deleteලස්සන ලිපියක්. දිගටම ලියන්න.
ReplyDelete
Deleteබොහෝම ස්තුතියි. බොහොම ස්තුතියි දිරිගැන්වීමට😁
බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගන්නවා.දිගටම ලියන්න ..ජය !
ReplyDelete
Deleteබොහෝම ස්තුතියි. බොහොම ස්තුතියි දිරිගැන්වීමට සඳවතී.මම ඔයාගේ මාවතේ තනිවූ නැගණියට ලියපු කවිය කියෙව්වා. නමුත් මගේ කමෙන්ට් එක පබ්ලිශ් වුනේ නැහැ.
ඒ අත්දැකීම විඳලත් තියෙනවා රෑ ජාමෙ පන්ති ගිහින් එනකොට. ඉතාම ලස්සන නිර්මාණයක් සඳවතී . .
අපි හැමෝම අතීතයේ සිහින ලෝකයට ගෙනයන සටහනක්. අගෙයි.
ReplyDeleteබොහෝම ස්තුතියි. බොහොම ස්තුතියි දිරිගැන්වීමට .දිගටම ලියන්නයි අදහස. .
Deleteඅපේ සිංහල බ්ලොග් අබරේ තවත් තරුවක්, සුබ පැතුම් සමඟ ආදරයෙන් පිලිගන්නෙමු. මේ සයිබර් ලෝකය අහස තරම් උසයි, පුළුල්. එනමුත් තරු විහිදන්නේ තමන්ගේම එළිය, කැල්ම. බොහෝම සන්තෝසයි, පාර පෙන්නුවේ සහෘද තට්ටයාගේ කොළම. උදෙන්ම ආවා පමා නොවී. පෝස්ටුව නිවිහැනැහිල්ලේ කියවා පසුව සටහනක් එක්කරන්නම්. ජය වේවා!
ReplyDeleteබොහෝම ස්තුතියි. බොහොම ස්තුතියි දිරිගැන්වීමට .දිගටම ලියන්නයි අදහස. .
Deleteමම දැම්ම comment එක කෝ? 🤔 spam ගියා වගේ
ReplyDeleteමලී, බොහෝ විට කොමන්ට් සබ්මිට් කරද්දි, error එකක් ඇවිත් නොපෙනී යනවා. ඉන් පසුව තව වරක් හෝ වාර කිහිපයක් ට්‍රයි කරද්දි පබ්ලිෂ් වෙනවා (ඒකත් හූරන ලොතරැයියක් වගේ)
DeleteCoral- හැබෑද? අයියෝ එහෙනම් ඒක ආයෙත් දාන්නම්
Deleteනිලූ- බ්ලොග් ලෝකයට ආදරයෙන් පිලිගන්නවා. හරි රසයි මේ ලියවිල්ල. තව තවත් ලියමු! (මම ඉන්නේ මෙල්බර්න්. මෙරටින් තවත් බ්ලොග්කාරියක් බිහිවීම ගැන හරි සතුටුයි!)
මේ සටහන කියවද්දී මගේ අම්මාවත් මතක් වුණා. අපටත් අඩුපාඩුවක් හිඟයක් නොතිබුණත් ඈ අපිව ඇති දැඩි කළේ පිරිමසාගන්න, නාස්ති නොකරන්න. ඒ පුරුදු අදටත් අක්කලාටත් මටත් නිරතුරුවම ප්‍රයෝජනයි. අම්මා දැන් අප අතර නැතත්, ඈ දුන් ඒ දායාද ඈ ව ජීවමාන ව තියනවා.
Deleteහරිම සතුටුයි මලී ඔයාව හඳුනාගත්තාට . බොහොම ස්තුතියි අගය කිරීමට. අම්මලගේ ආදරය වැඩියෙන්ම දැනෙන්නේ අම්මලා නැතිවුනාට පස්සේ.
සිංහල බ්ලොග් සයුරට එක්වූ මිනි මිනි පොදවැස්සට ආසිරි පතමි..
ReplyDeleteදිගටම ලියන්නට දිරිය හා ජය ....
බොහෝම ස්තුතියි අසංග දිරිමත් කිරීමට. දිගටම ලියන්නයි කල්පනාව.බොහොම ස්තුතියි.
Deleteකියෙවූයෙමි හරබර ලියවිල්ලක්, වරෙක ආඩම්බරයෙන්, සතුටින් වගේම දුකකින්. ඒ ඔබ ලියුවේ අපේ අම්මාවරුන්ගේ පරම්පරාව අපට දායාදය කල අමිල් තිලිණයේ සම්පත නිසාවෙනි. එය අපේ යුගයේ බොහෝ අයගේ අපේ අම්මා මතක් කර ඇස් තෙත් කලා නිසැකයි.
ReplyDeleteඅපේ පිය පාර්ශවය දේශීය වෛද්‍යවරු, ඔබේ අකුරු තුලින් ඒ බෙහෙත් සුවඳ වගේම සෙනෙහසත් දයාවත් දැනුනි. අදටත් ඒ දායාදයන්ගෙන් පල ලබන්නෙමු හදිසි අවස්ථාවකදී.
දයාබර සොයුරිය, ඔබේ ලිවිමේ හැකියාව ඉතා ඉහලයි. ඔබ සතු, මේ සමාජයට දිය හැකි, දිය යුතු දැනුම් සම්බාරය දකිමි. මේ ජීවන ධාවනයේ දැණුම කියන බැටනය හෙවත් යෂ්ටිය ඔබේ අකුරු හැකියාව තුලින් ඊළඟ කවය දුවන්න ඉන්න උදවියට බෙදමු. මිණි මිණි පොදේ සිසිලසින්, තෙතමනින් මේ කර්කෂ පොළවට බොහෝ දේ කරත හැකි වෙනවා නිසැකයි. මිණි මිණි පොදේ දිලේවා!
ඔබේ මෙම පෝස්ටුව මුහුණු පොත හරහා ෂෙයාර් කර ඇත.
Deleteඔබට බොහෝම ස්තුතියි කාරුනික දිරිගැන්වීමට.මගේ හිතෙත් ලියන්න සෑහෙන අදහස් , කතා පොදියක් පොරකනවා.නිතරම ලියන්නම්, කියවා බලා ඔබගේ අදහස් දක්වන්න.
නැවතත් බොහොම ස්තුතියි කතාව මුහුනු පොතේ ෂෙයා කලාට.
I’m crying at work, this is beautifully written Amma ♥️
ReplyDeleteThank you putha , you should do your own blog , coz you have an amazing writing skills. Name your blog " Devine Star" which is the meaning of your name :)
Deleteකියෙව්වා... ආපහු ළමා කාලයට ගියා. 60 - 70 - 80 දශකයේ උන්න හැම අම්මෙක් ම ඔය වගේ. අනික අපට ඒ කාලෙ කොයිතරම් වේරියේෂන් එකක් තිබුණ ද, කන්න බොන්න? දැන් මේ එක ම එළවලු පළතුරු සෙට් එකකට සීමා වුණා ට...
ReplyDeleteස්තුතියි බොහොම ඩ්‍රැකී
Deleteඔව්නේද , නිතරම දැන් දකින්න ලැබෙන්නේ එකම වර්ගයේ එලවලු. අපි නම් තාමත් ගමේ ගොඩේ එලවලු හොයල හොයල උයනවා. නැත්තම් ඉතින් ටින් කල එලවලු . ඉන්නල, කෙසෙල් මුව,නෙලුම් ඳඩු, දැන් මේ කොයිවත් ටින් කරලා තියෙනවා. අලුතෙන් ගත්තා වගෙම උයන්න පුලුවන්😁
ජිවීතය වගේම බ්ලොග් කලාවත් අම්මාගෙන්ම පටන් ගත්ත ඔබට සුභ පතනවා
ReplyDeleteබොහොම ස්තුතියි දිරිමත් කිරීමට.ඔව්, අම්මාව මතක් නොවෙන වෙලාවක් නැතිතරම්.
Deleteඅළුත් බ්ලොග් ගමනක් පටන් ගත්ත නිලූ ට සුබ පතනවා. අපූරු නමක් වගේම අගනා සටහනක්. ශනිදා බ්ලොග් රැල්ලත් එක්ක හැම සතියේම මොනවා හරි ලියන්න.
ReplyDelete🙏
Deleteබොහෝම ස්තුතියි අනුරුද්ධ ඔබගේ කාරුනික වචන වලට.දිගටම ලියන්න මගේ අදහස කියවා ඔබගේ අදහසුත් දෙන්න.
Deleteමගේ පලමු බ්ලොග් සටහන කියවා බලා මා දිරිගැන්වූ ඔබ සැමට මගේ හදපිරි ප්‍රනාමය. කමෙන්ට්ස් වලට පිලිතුරු පරක්කු වුනාට අමනාප නොවන්න. මද අසනීප තත්තවයකින් පසුවූ නිසා උත්තර ලියන්න බැරි උනා. හැම සුමානෙම ලියන්න ඉතා ආසාවෙන් බලාපොරුත්තු වෙනවා . කියවා බලා මා තවත් දිරි ගන්වන්නැයි ඉතා කරුනාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි .
ReplyDeleteමව්වත් මෙන්ම ගුණවත්කම සපිරි හොඳ
ReplyDeleteනුවණැති මවක් ලැබුමට වාසනා ලද
නිලූ ඔබේ සටහන කියවීමි අද
රහයි! පෙරට යමු සුපැතුම් අතරමැද
නිදි. .
Deleteකිව්වත් වගේ අපෙ අම්මා මවකි සොඳ නුවනැතී
නොකීවාට මම සිතමි ඔබෙ මවත් එහෙමම වෙන්නැතී
ස්තුතියි ඔබට , වෙලාවක් ,ඉසඹුවක්ගෙන කියවන්නැතී
කරුනාගුනැති කවිසිත ඔබේ මවගෙන් ලැබූ දායාද වෙන්නැතී
අගේ ඇති ලියවිල්ලක්.
ReplyDeleteබොහොම ස්තුතියි දිරිගැන්වීමට
DeleteLovely writing !!!
ReplyDelete