හැරවුම් ලක්ෂ්‍යය


" මට යන්න බෑ නලින් , අනේ මට යන්න බෑ"

මං කිව්වෙ හඬා හෙම්බත් වුන හඬින් , කඳුලු වැල් මගේ දෙනෙතින් ඔහේ ගලා ගිහින් මා ඇඳ සිටි මිලාධික සුදු ලේස් බ්ලවුසය තෙත් කලා.

ඇඳේ අඩමානට වාඩිවී සිටි මට කෙලින්ම දර්ශනය වුනේ මල් කැටයමින් , සිංහ කකුලෙන් අලංකාර වුන නලින්ගේ පවුල් පරම්පරාවෙන් උරුම වුන කලුවර කන්නාඩි මේසය , එහි පෙනුන මගේ ප්‍රතිබිම්භය මාතුලම අප්‍රසන්නතාවක් ඇති කලා.

හඬා හෙම්බත්ව තඩිස්සි වුන ඇසින්, තුනීවී ගිය කෙසින් ,කුරුලෑ කැලලින් යුතු කම්බුලැති අව පැහැ මූනින් , පමනටත් වඩා කලුවූ ගෙලින්, තරබාරු නූස් සිරුරෙන් , තඩි බඩගෙඩියෙන් , ඉදිමුන පිටිපතුලින් යුතු මගේ පෙනුම කිසිදා සුරූපි නොවූ මා තවත් විරූපී කර තිබුනා.

නලින් හිටියේ මට පිටුපා ටයි පටිය පලඳිමින් , ඔහුගේ උසට සරිලන කඩවසම් දේහය අනර්ඝ සන්නාමිත යුරෝපීය ඇඳුමට තවත් කඩවසම් ව පෙනුනා .

ඔහු වැන්නෙකු දිනා ගැනීම ගැන , මගේම කර ගැනීම ගැන මට මොහොතක සතුටක් ඇතිවුවත් , ඔහු සතු කරගත්තේ ප්‍ර‍යෝගයෙන් බවත් එසේ සතු කරගත් ඔහු තවදුරටත් මා කෙරේ රඳවා තබාගන්නේ මේ කන්නාඩියෙන් පෙනෙන මා නොව , කන්නාඩියෙන් නොපෙනන " ගරු මහේස්ත්‍රාත් විනිසුරු" යන මගේ නිල නාමය විසින් බවත් මම දනිමි. එවර මා දෙඇසින් ගලනා කඳුලු වැල් අලුත් වුනේ ඒ අමිහිරි යථාර්තය සිහිවය.

"නලීන් .. ඇහුනද මම කීදේ .. මට යන්න බෑ" මා කීවේ මා හිතුවාට වඩා මහ හඩින් විය යුතුය.නමුදු එවදන් මෙවර නලින් මාදෙසට හරවන්නට සමත් විය . ඒ මුහුනේ වූයේ තරහක් නොවේ නම් නොපහන් බැල්මකි.

" අනේ මේ ප්‍රභා, අපි මේ ගැන සියවරක් කතා කරා මතකනේ , එක.. ඔයාට ඔහොම ඔය තත්වේ ඉඳන් අඬන්න හොඳ නෑ , ඒක බබාට හොඳ නෑ , දෙක .. ඔයා කොහොමද ප්‍රභා යන්න බෑ කියන්නෙ , මම කියන්නේ හදවතට එකඟව එහෙම කියන්න ඔයාට පුලුවන්ද , ඔයා මේ ගමන යන්න බැරිනම් කොහොමද ප්‍රභා ඔයා රෑට සැනසිල්ලේ නිදා ගන්නේවත් .. අනිත් එක ඒක එයාගෙ ඉල්ලීම ප්‍රභා එයාගේ එකම ඉල්ලීම ... මුලදී ආවේගයෙන් මහ හඬින් මට කෑ ගැසු නලින් අවසන් වැකිය නම් කීවේ හඬන්නට ආසන්න බිඳුනු හඬිනි ..

නලීන්ව තරහ ගැස්වීම නිලයෙන් මහෙස්ත්‍රාත් විනිසුරු වරියක ලෙස නොව, ගැහැනියක ලෙස මා අතිශයින් බියපත් කල දෙයකි. ඔහු මා කෙරෙහි බිඳී යාදෝයි, මා හැරයාදෝයි යන බිය මා සිත නිරතුරුව පෙලීය. ඔහු මා කෙරේ බඳවා ගැනීමටත් , මා කෙරේ රඳවා ගැනීමටත් මා නොකල දෙයක් නැත. මට අනවශ්‍ය වුවද මා දරාසිටින මේ දරුවා මා බොහෝ සේ වියදම් දරා , බොහෝ සේ වෑයම් කොට ලබා ගත්තේද දිනෙන් දින මවෙතින් දුරස් වන ඔහු මා පාශයෙහි තබා රඳවා ගැනීමට නොවෙද . නිලයෙන් පමනක් මට දෙවැනි වූ නමුදු , රුවෙන් , පෞර්ශයෙන් , ධනයෙන් , බලයෙන්,කුලයෙන් , පරම්පරාවෙන් මට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටි ඔහු මා කෙරේ රඳවා ගැනීම මගේ එකම පැතුම නොවේද . එසේනම් මගේ වරදකාරී සිත එහි නොයෑමට මට කොතෙක් බල කලත් , මේ ගමන මා යා යුතුමය.

මා කාරයට නගිනා විටත් නලීන් එහි අසුන් ගෙන සිටියේ නොඉවසිල්ලෙන් මෙන් අත් ඔරලෝසුව දෙස බලමිනි . වෙනදා මෙන් නොව අද ඉදිරිපස අසුනේ ඔහු අසුන් ගෙන සිටියේ තම නොරිස්සීම මට පෙන්වීමට මෙනි. මා රථයේ හරි බරි ගැසී වාඩි වූ වහාම , රියැදුරු බනවා ගමන් ආරම්භ කිරීමට ඔහු අණ දුන්නේ තවත් පමාවට අකමැති ලෙසිනි.

රිය පෝටිකෝවෙන් ඉක්ම ගේට්ටුව දෙසට හරවද්දී මට රියේ පිටිපස දර්පනයෙන් මා ජීවත් වන මහා මන්දිරය පෙනේ, විශාලත්වයෙන්ද, ගාම්භීරත්වයෙන්ද අනූන මේ විසල් මන්දිරය නිල් වන් තන පලස මත විරාජමානව නැගී හිඳී, විශාල වත්ත වටා මහා පවුරකි, ඉදිරිපසින් අති විශාල ගේට්ටුවද , ඒ අද්දර ආරක්ශක කුටියද මට පෙනේ. ඔව් මේ සියල්ල මගේය, මා සත්තක දේය. මට මහා විශාල ආත්මාභිමානයකුත් , ඒ අභිබවා නැගී හීනමානයකුත් දැනේ .. ඇත්තටම මම කව්ද , මම කොහෙද මොනවා කරයිද අද එයා නැත්තම් ..

උසස් පෙල පලමු වර ලකුනු කීපයකින් නීති විද්‍යාල ප්‍රවේශය අහිමි වූ මා, දෙවන වර උසස් පෙල කිරීමට රත්නපුරයේ සිට කොලඹ ලොකු මාමලාගේ ගෙදර පැමිනියෙමි. පලමු වර කිසිම විෂයකට උපකාරක පංති නොගිය නිසා එවර උසස් පෙල අසමත් වූ බව ඇදැහූ මා මෙවර කෙසේ හෝ උපකාරක පංති වලට සහභාගී වී සමත් වීමේ දැඩි අරමුනෙන් සිටියෙමි.

දුප්පත් කමේ තරමටම ප්‍රභලව තිබූ ඉගෙන ගැනීමේ හැකියාවත් , කතාවේ තිබු බුහුටි බවත් නිසාම මම කවදා හෝ නීතීඥ වරියක් වන බවට මම මටම සපථ කර සිටියෙමි.

" දුප්පත් අපිට ගොඩ යන්න තියෙන එකම මග තමයි ඉගෙන ගන්න එක " යනුවෙන් නිරතුරුව මිමිනූ අපොච්චාත් , " උඹ ගොඩ ගිහින් මුන් වත් ගොඩ දාපන් දුවේ" කියමින් නංගීත් මල්ලීත් දෙස බලා අයදින අම්මාත් මගේ ඒ අරමුන වෙනුවෙන් වේලක් බඩගින්නේ නොතබා අප ජීවත් කල අපේ එකම සන්තකය වූ කුඹුරු කෑල්ල උගසේ තබා මට කොලඹ ඒමට නොපැකිලව මුදල් දුන්හ.

මම උන්නේ බියෙන් මුසපත්වය.මන්දකට උගුලකට හසුවූ මුව පැටියකු මෙන් බියපත්වය. මේ සියල්ල මට අලුත්ය .කොලඹ මට ආගන්තුක තැනකි. මෙවැනි තැනකට මා මේ පය ගැසූ මුල් වතාවය.ඒ රටේ නම ගිය සිංහල ගුරුවරයකුගේ උසස් පෙල උපකාරක පන්තියකි.

මා ඇඳ උන්නේ මට තිබූ හොඳම ඇඳුමිනි, ඒද පාට වියැකී ගිය ලොකු මාමාගේ දුවගේ පරන ගවුමකි. වටපිටේ උන් තරුනියන් හා බැලූ කල මගේ පෙනුම ඉතා අයහපත්ය, කිලිටි පාටය .මම හිස් බංකුවක කොනටවී වාඩි වී සිටියෙමි. කෙල්ලන් කීප දෙනෙක් මා දිහා අවඥාවෙන් බලමින් මා පසුකර ගියත් කිසිවෙකු හෝ මා අසල වාඩි නොවූයේ මා ඔවුන්ගෙන් කෙනෙකු නොවන බව දන්නාක් මෙනි. . මට පිටිපස බංකුවේ හිඳ උන් කොලු රැල මට කරන නා නා ප්‍රකාර විහිලු තහලු , මට විසි කරන කොල ගුලි මම නෑසුනා, නොදුටුවා මෙන් සිටිමි.

එකවරම මුලු පන්තියම නිහඬ වීය , "අහ් සර් එනවා ඇති යන්තන් " මම සිතිමී.
නමුත් එවිටම ඇසුනේ "සූ" ශබ්දයකි. ඉතා මිහිරි සුවඳකින් පන්තියම නෑවුනාක් වැනිය. මම හිස හරවා බැලූවෙමි . එවිට මම ඇය දුටුමි .

හිස මිදුනටම වන්ව ගැටගැසූ පෝනිටේලය ඈ ගමන් තාලයට පැද්දීය. ඒ මුහුන, ඇස්, නාස කට වාත්තු කලා මෙන් පරිපූර්නය. පැහැයෙන් රන්වන් පාට ඈ ඇඳ සිටි ගුරු පෑ ගවුම ඉතා කෙටිය, ඉතා ම පියකරුය. ඈ උස්ය , සිහින්ය . මට පෙනුන ඈ මම වරක් වෙලඳ දැන්වීමක දුටු අතිශය සුන්දර නිරූපිකාවක සිහි ගැන්වීය.ඒ සිත් වසඟ කරන සුවඳ හමන්නේ ඇගෙන් බව , මා පසුකර ඈ ඇදෙන විට මට දැනුනි. මුලු පන්තියේම හිස් ඈ වෙත හැරවී ඇත. මා පසුකර අඩි කීපයක් ගිය ඈ එකවර නැවතී මා දෙස හිස හරවා බලා, නැවත මා වෙත පැමින " හායි" කියමින් මා අසලින් වාඩි වුනාය.මට එවෙලේ දැනුන හැඟීම විස්තර කිරීමට මට දැනුදු වචන නැත . හරියට ආඝාධයක සිරවී සිටි අයෙක් ඉන් මුදා ගත් විට දැනෙන හැඟීම වන්නක් විය හැක. දුප්පත් කමේ , අසරන කමේ , නොපුරුදු කමේ බියෙන් ලජ්ජාවෙන් ඈ මා මුදා ගත්තීය.

"ඉතින් , මම සාරන්‍යා , මට සාරා කියන්න" මෙතෙක් නොදුටු ඇගේ සුන්දර දසන් මට දක්වමින් ඇය කීවාය.

" මම .. මම .. මම තැනනූයෙමි , මගෙ නම පබාවතී " මට මේ නම තැබූ අපොච්චාට සියවෙනි වරටත් හිතෙන් දොස් තබමින් මම පැකිලෙමින් කීවෙමි. තව මට පබාවතී වගේ ලස්සන රූපයක් තිබුනානම් මොකද , මේ හැටි කැත කෙල්ලෙකුට පබාවතී කියලා නම් තියන්න අපොච්චාට ඔල්මොරොන්දන්.

'ෂා, හරිම වෙනස් නමක්නේ, හරිම ලස්සනයි " ඈ කීවේ වෙන උන් මෙන් සරදමට නොව අවංකවම බව මට ඇගෙ සුන්දර සිනහව දෙස්දුනි.
එදින පන්තිය අවසාන වන විට අපි හොඳ යහලුවන් වී සිටියෙමු. ඇගේ මිතුරු කමේ අනුහසින් නිරතුරුව " මා නොතරම්" යැයි මා පෙලූ හීනමානයද මා හැර දාක් ගියා වැනිය. මම එදින මගෙ ජීවිතයේ පලමු වරට අන් සිසුන්ට උත්තර දීමට බැරිවූ ප්‍රශ්න කීපයකටම පිලිතුරු සපයා ගුරුවරයා ගෙන් පැසසුම්ද ලදිමි . ජීවිතයේ පලමු වරට මම මිතුරියක් ලදිමි . මෙතෙක් රත්නපුර පාසැලෙන්ද , ලොකු මාමලාගේ ගෙදරින්ද , අවට සමාජයෙන්ද මා විඳි ගැරහුම් , අවමාන ,කෙනෙහිලිකම් එක්වරම දුරුවී නැතිවී ගොස් මගේ දිවියට නව මානයක් එදින ලැබුනාක් වැනිය. තවදුරටත් මා ගත ලූ පරන ලේස්‍ ගවුම හෝ පය ලූ ගෙවීගිය පටි සෙරෙප්පු යුවල මට නොවැදගත් සාධකයන් වූවා වැනිය , වඩා වැදගත් දේ ජීවිතයේ පලමු වරට මට දැන් මිතුරියක් සිටීමය.


පොරොන්දුවූවාක් මෙන් ඉන් පසු එලැඹෙන හැම පන්ති වාරයකමදීම අපි එකට වාඩි උනෙමු, අන් සියලු කෙල්ලන් මෙන් අපි තොරතෝන්චියක් නැතිව කතා කලෙමු , සිනා සුනෙමු . මම පෙරටත් වඩා හොඳින් ඉගෙනගත්තෙමි . ඇගෙ සුන්දර මුහුන දකින්න , පියවචන අහන්න, ඈ ගෙනෙන රස කෑම කන්න මම පුල පුලා බලා සිටියෙමි.

අපේ සිංහල ගුරුවරයාගෙ නම නන්ද විය. සමහර දිනක පන්තියේ කොල්ලන් මා නන්ද කුමරු දුටු හේනේ දා ගිය වැඳිරියත් , සාරා ජනපද කල්‍යානියත් යනුවෙන් හැඳින්වූහ . සාරා මේ කොල්ලන්ට කිසි විටෙක බිය නොවූවාය ,ඔවුන් කර අත් දා ගනිමින් , විහිලු තහලු කරමින් , සමහර දිනෙක ඔවුන් හා හොරෙන් දුම් පානය කිරීමද කලාය. සාරා ට කොල්ලන් වඩ වඩාත් හිතවත් වූ අතර කෙල්ලන් බිය වූහ. සාරා ඇසුරු කල එකම කෙල්ල මා වූ නිසාවෙන් මේ කොල්ලන්ද මට පෙරට වඩා හිතවත් කමකින් සැලකූහ.

එක් දිනක් සාරා මා ඇගේ ගෙදරට කැඳවා ගෙන ගියාය. කොලඹ බගතලේ පාරේ වූ ඒ මහා මැදුර වැනි එකක් මම ඉන් පෙර දැක නොතිබුනි. ඇගේ පියා සුපතල ව්‍යාපාරිකයෙකි. මව ප්‍රකට දානපතිනියකි.සාරා ගතකලේ දැසි දැස්සන් පිරිවරාගත් ඉතා මහේශාක්‍ය ජීවිතයකි. ඇගේ මව නම් මා දැකුමෙන් එතරම් සතුටට පත් වූ බවක් නොපෙන්වුවත්, මගේ විස්තර ඇසුවාය. මා ලොකු මාමලාගේ ගෙදර විදින දුක් ගැහැට ගැන, මගේ බත් පත වෙනුවෙන් මා ඒ ගෙදර කරනා වැඩ කන්දරාව ගැන ඇසූ ඈ මා ගැන උපන් අනුකම්පාවෙන්දෝ මට ඒ මහා මැදුරේ නැවතී සාරා හා ඉගෙනීමේ වැඩ කටයුතු කල හැකි බවත් , පන්ති ගාස්තු ආදිය ඈ විසින් ගෙවනා බවත් කීවාය. ඈ රටේ නමගිය සමාජ සේවිකාවක් හැටියට මාවැනි තරුනියන් සිය ගනනකට අතදී ඇති බව මම පසුව දැන ගත්තෙමි .ඒ මගේ ජීවිතයේ සිදුවූ දෙවැනි පෙරලියයි.

සාරා හා කාලය ගත කිරීමට හැකිවීම මා අමන්දානන්දයට පත් කල බව සැබවකි. , ඔවුන් ජීවත් වූ ඉහල පෙලේ සමාජයට මා කොතෙක් ඇලුම් කලාද යත් සාරාව මම එක හෙලා අනුකරනය කලෙමි. සාරා මට වඩා පිරිපුන් නිසා ඈ විසින් කීපරක් ඇඳ ඉවතලන මෙන්ම , මටම ඈ මිලදීගෙන දුන් නේක වර්න නව විලාසිතාවෙන් මම සැරසුනෙමි , සාරාගේ කතාව, ගමන බිමන මම අනුකරනය කලේමි . ඈ මට වඩා සිය ගුනයකින් රූපත් බව සත්තක් නමුත් මම මගේ උත්සාහය අත් නොඇරීමි . පෝශ්‍යදායි කෑමෙන් , රූපයට කලාවූ නේක සත්කාර වලින්ද මා පෙරට වඩා මදක් රූමත් වූ බව ඇත්තකි. මා ඒ ඉහල සමාජයට අනුගත වන වේගයට සාපෙක්ශ වේගයකින් මට මගේ දුප්පත් කමත් , මා වෙනුවෙන් බලා සිටි අසරන දෙමාපියනුත් අමතක වුන බවත් ඇත්තකි. ඔවුන්ට ලිපියක් යැවීම තරම් වත් මේ කාලයේ මගෙන් නොවුන තරම්ය.
කන්නාඩියෙන් මා දෙස බලන මම තවදුරටත් ඒ දුප්පත් , ගොඩේ කෙල්ල නොවුනෙමි, තරමක් රූපත් කෙල්ලක් දැන් මට කන්නාඩියේ සිට ප්‍රති සිනහ දක්වයි. මා අවතීර්න වූ මේ නව සමාජයෙන් මා වෙන් කරනා එකම පුරුක මගේ අඩු කුල ගොත් ඇති නමයි. මේ නම මාරු කර ගැනීමට මම සාරාගේත් , ඇගේ මවගේත් සහාය උපදෙස් පැතුවෙමි.

"අනේ පබා , ඔච්චර ලස්සන නමක් ඇයි වෙනස් කරන්නෙ " සාරා කීවාය . නමුත් සුපුරුදු ලෙසම නම මාරුකරගැනීමට මට උපකාර කලාය. මට පලමු වරට ඈ කෙරේ ද්වෙෂයක් ඇතිවුයේ එදිනය. ඒ ඈ මගේ ප්‍රශ්නය සුලු කොට තැකූවායැයි සිතාය.

මෙතෙක් කල් හේනගෙදර පබාවතී නම් වූ මම එතැන් පටන් වීරකෝන් මුදියන්සේලාගේ ප්‍රභා වීරකෝන් නම් වීමි. මගේ උප්පැන්න සහතිකයේ සිට හැඳුනුම්පත දක්වාවූ සියලුම අනන්‍යතා සහතික මෙසේ ප්‍රභා වීරකෝන් නම් ගති. මාත් රත්නපුර ඒ හද්දා පිටිසර ගමත්, දුප්පත් පවුලත් අතර වූ අවසාන බැඳීම සර්පයකු හැව අරින්නාසේ මම කිසිඳු පැකිලීමක් නැතිව හැර දැමීමි. නමුදු නීතිඥවරියක වීමේ මගේ අරමුන නම් කිසිවිට
අමතක නොකලෙමි , ඒ වෙනුවෙන් වඩ වඩාත් කැප වුනෙමි.

සාරා හා මෙන්ව අඳින්නත් , කතා කරන්නත්, හැසිරෙන්නත් මා ඉගෙන ගත්තත් මේ විශ්ම ලෝකය මා නයට ගත් එකකි, මේ ලෝකයට අයිති සාරායි මා මෙලොවට අයිති නොවේ යන කටුක යථාර්තය මා නිරතුරුව පෙලීය. මා සාරා කෙරෙහි වූ බලවත් ඉර්ෂ්‍යාවෙන් පෙලුනෙමි, දිනෙන් දින බලවත් වන මේ ඉර්ෂ්‍යාව මා ඈ කෙරේ දැක්වූ හිත මිතුරු කම අභිබවා කෙමෙන් නැගීය. මා තවදුරටත් ඇගේ හිතවත් මිතුරිය නොවූ අතර ඈත් මාත් නොදැනුවත්වම මම ඈට නපුර , අයහපතම පැතුවෙමි. ඈ අභිබවා නැගෙන්නට , ඈට වඩා කැපී පෙනෙන්නට මා තුල වූයේ මහත් අශාවකි. ඇගේ දෙමාපියන්ට , සේවකයන්ට සාරාට වඩා මා හොඳ කෙනෙකු බව , දක්ශ බව ඒත්තු ගන්නන්නට මම සියුම් ප්‍රයෝග යෙදුවෙමි. සමහරක් ඒ ප්‍රයෝග සාර්ථක වී සාරා දෙමාපියන්ගෙන් බැනුම් අසනාවිට බොරුවට ඈ අස්වැසුවත් , හිතින් මම පිනුම් ගැසුවෙමි.

අප දෙදෙනාම උසස් පෙල සමත් වූයේත් , නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වූයේත් එකටමය. මා උසස් පෙල සාරාට වැඩි ලකුනුත් සාරා නීති ප්‍රවේශයේ මට වඩා වැඩි ලකුනුත් ලද්දාය. එය සාරාගේ දෙමාපියන්ට ඉතා සන්තෝශජනක ආරංචියක් විය . ඔවුන් අප දෙදෙනාගේම ජයග්‍රහනය අරභයා සාදයක් ද පැවැත්වූහ . මගේ දෙමාපියටත් එයට ආරාධනා කරන ලෙස සාරා කීවත් , මම මගේ දෙමාපියන් අමතක කොට බොහෝ කාලයකි. මා විසින් ඔවුන්ට කුඹුර බේරා ගැනීමට පමනක් මුදල් යැව්වෙමි . මා තවදුරටත් හේනෙගෙදර පබාවතී නොවේ.


කාලය ගත්වෙද්දී මම ප්‍රභා වීරකෝන් නමින් නීති විද්‍යාලයේ කැපී පෙනෙන නමක් දිනා සිටියෙමි , ඒ මා ඉගෙන ගැනීමේදී පෙන්වූ හැකියාව නිසාය , නමුත් සාරා මට වඩා ඉහලින් කැපී පෙනුනේ ඇගේ රූමත් කම, පවුල් පසුබිම ආදී මා තුල නොවූ ගුනාංග නිසාය. මෙය මහත් අසාධාරනයක් බව මම සිතුවෙමි . නීති විද්‍යාලය වැනි අධ්‍යාපන ආයතනයක මුල් තැන ලැබිය යුත්තේ අධ්‍යාපනයේ දක්ශයන්ට මිස රූමත් කමත්, පවුල් පසුබිමත් එහි කැපී පෙනෙන්නට අදාල සාධක නොවන බව මගේ මතය විය. මම සාරාට ලංවී ඇගේ ප්‍රානසම මිතුරිය මෙන් ඈ ඇති තැනත් , ඈගේ චරිතය ඝාතනය වන පරිදි නොයෙක් ආරංචි ඈ නැති තැනත් පතුරුවා හැරියෙමි. මේ ආරංචි බොහෝ විට ඈ නීති විද්‍යාල සගයෙකු හෝ ආචර්‍යවරයෙකු සම්බන්ධ කොට මා විසින් ගෙතූ ඒවාය. ඒ ආරංචි බොහෝ දෙනා විශ්වාස කරන්නටද යෙදුනේ පිරිමි සිසුන්ද , ආචාර්‍යවරුන්ද ගැහැනු පිරිමි භේදයකින් තොරව ඉතා නිදහස් මනසින් ඇසුරු කරන සාරාගේ නිසැඟ හැසිරීම් රටාව නිසාය. පසුව මා විසින් මතු නොව වෙනත් සිසුවියන්ද සාරා ගැන පතුරන බොරු ආරංචි මම අසා සිටියේ එලියට නොපෙන්වන සිතේ සතුට දුක්මුසු මුහුනකින් වසාගෙනය.

නලීන් මා මුලින්ම දුටුවේ නීති විද්‍යාල සාදයකදීය. දුටු මතින්ම මා ඔහු පාශයේ බැඳුනෙමි. ඔහු ඉතා ධනවත් , කුලවත් පවුලකින් පැවැතෙන බව මම දැන උන්නෙමි. ඔහු දුටු මුල් වර එය උනත් ඔහු පිලිබඳ මම අසා දැන උන්නෙමි , ඒ සාරා ගෙනි. මා මුලින්ම ඔහු දුටු වර නලීන් හිටියේ සාරා හා යුගල රංගනයකය. එදෙපල ඉතා ගැලපෙන යුවලක් බව ඒ දෙස බලා හිටි බොහෝ දෙනා පවසනු මට ඇසුනි . ඉර්ෂ්‍යාවේ ගිනිදලු මා දවනු මට දැනුනි. නලීන්ව කිසි දින සරාට අත්වෙන්නට නොදෙන බව මම දිවුරා ගත්තෙමි , ඔව් මටම මම දිවුරා පොරොන්දු වුනිමි.

ඉන්පසු නලීන් , සාරා හා මම නිතර හමුවූ මිතුරන් වූහ. මිතුරු වෙසින් ඔවුන් හා කතාකල , සිනාසුන මම නිරතුරුව ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දීමි. නීති විද්‍යාලය අවසානයේ මට ප්‍රකට නීති සමාගමක රැකියාව ලැබෙන බව සැවොම අනුමාන කලහ. හොඳ රැකියාවක් ස්තිර මට නලීන් වැනි කඩවසම්, උගත්, කුලවත්,ධනවත් සැමියෙක් ලැබීම වනාහී මගේ ජීවිතයේ සියලු කඩොතොලු පුරවන්නකි. මෙතෙක් මේ දුර්ඝ මාර්ගයේ නොනැසී ආ මට මේ අවසන් පිම්ම අමාරු එකක් විය නොහැක.

නලීන් නිසැකවම සාරාට ආදරය කරන බැව් මම දතිමි ,සාරා ඈ නලින්ට ආදරය කරන වග මා හා පවසන්නට පෙර මා ක්‍රියාත්මක විය යුතුව තිබුනි.
එක් රාත්‍රියක සාදයක් අවසානයේ ඒ අවස්තාව මම ලබා ගතිමි. සාරා ඒ සාදයට පැමිනියේ නැති නිසා මාගේ වැඩපිලිවෙල සාර්ථක වුනි. ගෙවෙන තත්පරයක් ගානේ සාරා පැමිනේදැයි දොර දෙස බලන නලීන් ඈ නෙපැමිනෙන තත්පර මිනිත්තු පැය වල පෙරලෙද්දී උවමනාවටත් වැඩිය මත්පැන් පානය කලේය . ඇත්තටම මම ඔහුට එයට අනුබල දීමි , සාරා පිලිබඳ මා කිවූ "ඔන්න නලින් ඔයා නොදන්න මම දන්න කතා"කියමින් පැවසූ අමූලික බොරු ඔහුගේ බීමට උත්තේජනයක් වන්නටත් ඇත. මැදියම් රෑ පසු වද්දී, එම තරු පහේ හෝටලයේම කාමරයදි මම ඔහුගේම වුනි , නැත මම ඔහු මගේම කරගතිමි. නලීන් උන්නේ අවසිහියෙන් මෙනි , බොහෝ විට ඔහුගේ හිතේ ඔහු හා ප්‍රේම ආලිංගනයේ ඉන්නට ඇත්තේ ප්‍රභා නොව සාරාය. නමුත් උදයේ මා තුරුලේ අවදි වූ ඔහු දුටුවේ ඔහු පෙම් බැඳි සාරා නොව ඇගේ හොඳම මිතුරිය ප්‍රභාය. මිනිස්කම් දන්නා මනුෂ්‍ය වටිනාකම් වලට ගරු කල නලීන් තම සිතට එකඟ නොවූවද මා විවාහ කරගන්නා බව මම දනිමි. මට කල යුතුව තිබුනේ පෙරදා රෑ අපි ඉතිරි කල ප්‍රේමයේ සලකුන දෙස බලා මදක් හැඬීම පමනි . හේනෙගෙදර පබාවති වූ මා , ඉන් අනුතුරුව ප්‍රභා වීරකෝන් වී , අවසානයේ නීතිඥ ප්‍රභා ගජබාහු මහත්මිය වූයේ එලෙසිනි. මේ අලුත් නම සමග මා සතුවූයේ නලින් පමනක් නොවේ , ඔහු සතු , ධනය , බලය, කුලයද , සමාජ තත්වයද මා වෙත ආරෝපනය විය.

නලීන් හා විවාහ වීමත් සමගම , මම සාරා ගෙන් දුරස් වුනෙමි.එක් හේතුවක් වූයේ මුදුනට නැගි පසු ඉනිමන් කර තබාගනු කුමටද යනුවෙන් මා දැරූ මතයයි. අනෙක නලීන් මා කෙරෙහි රඳවා ගැනීමට නම් සාරාගෙන් ඈත් කොට තැබිය යුතුය යන්න මා විශ්වාස කල නිසාය . නමුත් මූලික හේතුව අනිකකි. නලින්ගේ ප්‍රභූ නෑ දෙමාපියන් ඉදිරියේ සාරා මට කලායැයි මා සිතූ නිග්‍රහයයි. මගේත් නලින්ගේත් විවාහය පැවැත්වුනේ සාරාගේ මවගේ මූලිකත්වයෙනි . මා පසින් මාගේ කියා කිසිවකු නැති අඩුව පිරවූයේ සාරාගේ දෙමාපිය , නෑදෑ හිත්වතුන්ය . සාරාගේ දෙමාපියන්ට මා ඔවුන් හදාගත් දුවකි , ඉතින් මගේ මංගල්‍ය ඔවුන් ගේ වියදමින් කිරීම තම යුතුකම සේ ඔවුන් සැලකූහ. නමුත් නලීන්ගේ අතදරා මා පෝරුවට ගොඩවන මොහොතේ බියෙන්ද පුදුමයෙන්ද මහත්වූ දෑසින් මාදෙස බලා සිටිනා මගෙ අපොච්චා, අම්මා, නන්ගී සහ මල්ලි දුටු මම පොරුව උඩ ක්ලාන්ත වූවා තරමි. ඔවුන්ට ආරාධනා කොට ඉන් නොනැවති මට හොරෙන් ඔවුන් කැඳවා ගෙන විත් , අවස්තාවට සෑහෙන ඇඳුම් , ඇඟලුම් සපයා ඔවුන් මගේ මංගල්‍යට කැදවාගෙන ඒම සම්බන්ධයෙන් මම සාරාට නොසෑහෙන්න දොස් කීවෙමි. මගේ ජීවිතයේ ලස්සනම අවස්තාව ඔවුන්ට පෙන්වනු වස් ඔවුන් කැඳවූ බවත් නලින්ගේද පූර්න අනුමැතිය ඇතිව එසේ කල බවත් ඈ කීවත් මම විශ්වාස කලේ මට ලැජ්ජාකරනු පිනිස ඈ ඔවුන් කැඳවූ බවයි. මෙය ඇගෙන් මිදෙන්නට ,බිදෙන්නට හොඳම අවස්තාව කර ගත් මම විවාහයෙන් පසු සාරා අමතකම කොට දැමුවෙමි. අප තිදෙනාම නීතිවේදීන් වූ නිසා අපි බොහෝ උත්සව සාද වලදී හමු වූවත් මම ඈ නොදැක්කා සේ පසුවුනිමි.

මගේ විවාහය සාර්තක එකක් වූයේ නැති. නලීන් හා මම එක ගෙදර අමුත්තන් සේ ජීවත් වුනෙමු. සාරා මේ අතර කාලයේ අප නීති විද්‍යාලයේ ආචර්‍යවරයෙකු වූ සුප්‍රකට අධිනීතිඥයකු වන නිසල් වීරසූරිය හා විවාහ වූවාය. ඇගේ මංගල්‍යට මම සහභාගී නොවීමි . සාරාගේ සැමියා මදක් වයසින් වැඩිවූ නමුත් ඉතාම කඩවසම් මිනිසෙකි, අතිෂය ධනවෙතෙකි, ඔහුගේම නීති සමාගමක හිමිකරුවෙකි. නලීන් ට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටි ඔහු වැන්නෙකු හා සාරා විවාහ වීම මට කිසිසේත් රිස්සුම් දෙන්නක් නොවීය .එසේම අපි හමුවන උත්සව අවස්තාවල ඔවුන් දෙදෙනා ආදරෙන් තුරුල් වී කරන කතා බහ , රඟන රැඟුම් මම ඉර්ෂ්‍යාවෙන් බරව බලා සිටිද්දී, නලින් දුකෙන් බරව ඒ දෙස බලා සිටිනු දැකීම මා හද තවත් පාරවන්නක් විය. මා බොහෝ දේ කැපකොට අමාරුවෙන් ලබාගත් ජීවිතය සාරා ඉතා පහසුවෙන් ලබා මට වඩා අතිශය සතුටින් ගතකිරීම මගේ හද ගිනි අවුලවන්නක් විය. කොතැන ගියත් ජනප්‍රිය යුවල ඔවුන් විය , සැවොම ඔවුන්ට අතට අත දීමට , වචනයක් කතා කිරීමට පුල පුලා සිටියාක් වැනිය.

තවත් ඉර්ෂ්‍යාවෙන් පෙලෙන මගේ හිතට ඉවසා සිටිය නොහැකි වූ තැන මම දිනක් එක සාදයකදී සාරාගේ සැමියා අසලට ගොස් ඈ විවාහයට පෙර කීප දෙනෙකු හා අනාචාරයේ හැසිරී ඇත්තියකැයි කීමි. කෝපයෙන් මුසපත් වෙනු වෙනුවට නිසල් ගේ මුහුනේ නැගුනේ වික්ශිප්ත භාවයට පත් පෙනුමකි. එසැනින් එපෙනුම වෙනස් වී රෞද්‍ර වෙස් ගත්තෙත් මා අතින් ඇදගෙන සාරා අභිමුඛයට ගෙනගියෙත් සාදයේ සිටි සියලු දෙනා පුදුමයටත් , භීතියටත් පත් කරමිනි. මා වීසි කර මෙන් සාරා අසලට ඇද දැමූ නිසල්
"සාරා මේ ගෑනි ඔයා නිසා මේ වගෙ තැනකටත් ඇවිත් , තැන තැන ඔයා ගැන පතුරපු කතාවලටත් පස්සෙ, තව ලැජ්ජාවක් නැතිව මා ලඟටත් ඇවිත් මේ කැත කතා කියනවනේ , ඔයා ඉවසුවට මම නම් ඉවසන්නේ නෑ ,'" යි මහ හඬින් ගෝරනාඩු කලේය. නැවතත් හැරී නලින් දෙස බලා 'සමාවෙන්න නලීන් මට ඔයාගේ බිරිඳට මෙහෙම කියන්න උනාට , නමුත් මේ පහත් වැඩේ මෙයා දිගටම කරනවා මම මෙහෙම කරේ නැත්තම් "කීය.

කිසිවක් කියාගත් නොහුනු නලීන් "සමාවෙන්න සර් "කියා මා ඇදගෙන ගියෙත් , සාර "ප්‍රභා ප්‍රභා කියමින් මා අසලට ආවේත් එකටමය.මගේ සියලු ප්‍රයෝගයන් ඔවුන් දැනගෙන ඇති බව දැනී මම අතිශයින් ලජ්ජාවට පත්වුනෙමි.

ඒ සාදයෙන් පසු නලීන් මාහා කරන කතාවත් සම්පූර්නයෙන්ම නැවතීය . නමුත් අවුරුදු ගනනක් තිස්සේ කරන ලද වෙදකම් වල ප්‍රතිපලයක් ලෙස මම ගැබිනියක් බව දැනගත්තෙත් ඉන් දින දෙකකට පසුවය . අප දෙමාපියන්වීමේ සතුට මා හා නලීන් නැවතත් මදක් ලං කලත් ඔහු තවමත් මට සැලකුවේ පිටස්තරයකුට මෙනි. ඔහු හා කිසිඳු උත්සව , සාද වලට සහභාගී වීමට මට කැඳවීමක් ලැබුනේ නැත. මුලු මහත් සමාජයම මා කොන් කොට නිගරුවට හෙලුවාක් මෙනි.

මගේ කුස ඉදිරියට නෙරා පැමිනීමත් සමග කෑමේ බීමේ පිරියත් මට නතිවුන කාලයක නලීන් මට මා ආසා කරන කෑම මොනවාදැයි අසමින් මට සැපයූවේය. ඒවා අප කුස්සියේ නොඉදවුන බව නම් මම දනිමි , නමුත් ඒ කොහින්දැයි ඔහු මට කීවේද නැති. මගේ දොලදුක ඉන් සන්සිදුන නිසා මම පෙරැත්ත කරමින් ඇසුවේත් නැති. මගේ ජීවිතය උසාවියෙන් ගෙදරට , ගෙදරින් උසාවියට පමනක් ම විය. ඉන් එහා සමාජ ජීවිතයක් මට නැති විය. වැඩෙන කුසත් සමග මම මදක් සංසුන්ව ජීවිතය දෙස බලන්නට පුරුදු වීමි. රැකියාවට මුල් තැන දීමි , ඉන් ඉහලට ඉදිරියට ගියෙමි. ජීවිතයේ යම් තරමකට ඉසඹුවක් ලැබුන, සැනසිල්ලක් දැනුන මේ කාලයේ අතීතාවර්ජනය කල මට මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය මට සාරා හමුවීම බව හිතට එකඟව පිලිගතිමි. මගේ දිවිය අද මෙතැනට එසවීමට මෙපමණ මට උදව් උපකාරී ඈට මා කල අනර්ථකාරී ක්‍රියා පිලිබඳව මම අවංකවම පසුතැවුනෙමි. හඬාවැටුනෙමි. නමුත් මම ඒ උතුම් මිත්‍රත්වය නැවත ගොඩනගනු නොහැකි ලෙස විනාශ කර තිබුනි. ඈ හමුවී සමාව අයැදීමට මම බලාපොරොත්තු වුනෙමි.

මාගේ කුසට මාස අටක් පිරි දින නලීන් දහවල් ගෙදර පැමිනියේ රතු වූ වතිනි , බොහෝ සේ කලබලයෙනි . එක තැනක නොරැදී ඔහු කාමරයේ ඒ මේ අත ඇවිදී , හිස කසයි , තනිවම දොඩවයි . මා දුටු මතින් තිගැස්සුනු ඔහු මුහුන වසා ගෙන එහි වූ පුටුවකට කඩා වැටුනි. තවත් නිහඬව සිටි හැකි නොවූ තැන මම “මොකක්ද නලින් වෙලා තියෙන්නෙ , ඇයි මේ පිස්සෙක් වගේ, ඇයි අද කලින් " ඇසීමි .

රත් වූ නෙතින් මා දෙස බලන් මොහොතක් ගතකල නලීන් මා අසලට පැමින මා එහි පුටුවකින් වාඩි කලේය , වචනයෙන් වචනය පරිස්මින් " සාරා , සාරා ට කැන්සර් එකක් , අපි කාටවත් කියන්න එපා කියල , ස්ටේජ් ෆෝලු , අද උදේ නැතිවෙලා, අද හවසට ෆියුනරල් එක" කියමින් මා ඔහුගේ සිරුරට වාරු කර ගත්තේය.

මා අසල හෙනයක් පිපිරුවා වැනිව මට දැනුනි, අනේ සාරා .. ලස්සන සාරා, හොඳ සාරා, මම කල දුශ්ඨකම් වලට වචනය් නොකී සාරා.. මේ ලස්සන ජීවිතේ මට දුන් සාරා .. මගේ දුවව නොබලාම යනවද සාරා ... අනේ සාරා..

මා කොතරම් විලාප දුන්නාදැයි මම නොදනිමි . පැය ගනනක් නොව මට මේ ලෙස දවස් ගනනක් වුවද විලාප දී හඩන්නට හැකි බව මම දනිමි . මගේ සිතේ ඇති දුක කන්ගාටුව එක්වරක් සාරාට කියන්නට තිබුනි නම්, මා කල නොපනත් කම් වලට ඈ දෙපා නමැද සමාව ඉල්ලිය හැකිනම්. මට ප්‍රානය නිරුද්ද වූ සාරා කෙනෙකු දැකිය නොහැකි බවත් , සාරාට පන දී මා ඉදිරියට ගෙනත් දෙන්නටත් කියමින් දෙවියන් යැද්දෙමි. මුහුන ඉදිමී ,ඇස් පියන් බරවී , කටහඬ තව දුරටත් පිට නොවන තෙක් මම හැඬීමි , අවසානයේ නලීන් ගේ කීමට පිටු නොහැකි වූ නිසාම සරාගේ අවමන්ගල්‍යට සහභාගි වීමි.

ඈ මා ඈ දුටු මුල් දිනේ මෙන්ම පියකරුව, එනමුත් දෑස් පියා උන්නාය. මද සිනාවකින් යුතු උවන ශාන්තය , මලින් වැසී ගිය සයනයක උඩුකුරුව වැතිර උන්නාය. එය ඉතා කෙටි, පවුලේ කීප දෙනා පමණක් සහභාගි වුන අවමංගල උත්සවයකි. සාරාගේ සිරුර මරනයෙන් පැය කීපයක් ඇතුලත වෛද්‍ය විද්‍යාලයට භාර දෙන ලදි.එය සාරාගෙ ඉල්ලීමකි.

අවමන්ගල්‍ය අවසානයේ මාත් නලීනුත් අසලට පැමිනි නිසල් , ""ප්‍රභා ටිකක් ඉඳලා යන්න , ඔයාට දෙන්න දෙයක් තියෙනවා"කීවෙන් අපි නිසල්ගෙත් සාරාගෙත් සුවිසල් මැදුරේ මදක් රැඳුනෙමු. ටික වේලාවකින් සියලු අමුත්තන් විසිර ගිය තැන අප වෙත පැමිනි නිසල් අප ඉදිරියෙන් අසුන් ගත්තේය . ඔහු මා අවසන් වරට දුටුවාට වඩා වසර ගනනාවකින් මහලු වූ සැටියකි , මුහුන ජීවය හිඳී ඇත්තාක් බඳුය. සරාගේ මරනය ඔහුගේ ජීවිතය සිඳ බිඳ මිරිකා දමා වැනිය . ඔහුගෙ දුක දැකීමෙන් මට ඇතිවූයේ සතුටක් නොව ලය හාරාගෙන ගිය දුකකි. මම ඉදිරියට නැමී ඔහු අත් අල්ලාගත්තෙමි , මා අත් උඩින් නලීන් ඔහුගේ අත් තැබුවේය, අපි තිදෙනාම මද වේලාවක් හැඬීමු .

කතා කර ගත හැකි පමනට සංසුන්වූ පසු ලිපි කවරයක් මා අත තැබූ නිසල් , "මේක ඔයාට සාර දුන්නේ "ඕක ඇරල බලන්න ප්‍රභා , කමක් නැත්තම් මමත් ඉන්නම්".

මම නලින් දෙස බැලුවෙමි , එය ඇර බලන ලෙස ඔහු මට හිසින් සන් කලේය.

ඉතින් මම එය ඇර බැලීමි , එහි තුල ලිපියක් ද , සාරා සැමවිටම ගෙල පැලැඳි ලොකැට්ටුව සහිත රන් මාලයද විය . මාලය අතට ගත් මම එහි ලොකැට්ටුව හැරියෙමි , "" දෙවියනි , එහි එක් පසක මගේ රුවකි , අනික් පස සිනාවෙමින් සිටිනා ඇගේ සොඳුරු රුවයි .""

වෙව්ලන ඇතැඟිලින්, කදුලු ගලන දෑසින්, කකියන හදවතින් යුතු මම ලිපිය කියෙව්වෙමි .

ආදර පබා ,

මේ රන් මාලය ඔබේ ආදර දුවටයි. ඇගේ සාරා පුන්චි අම්මා විසින් මේ මාලය ඇයට තෑගි කල බව කියන්න. එය ඈ ආරක්ශා කරාවි. ඔබේ බිලිඳු දියනිය ආදරයෙන් සිප ගන්නට මම මග බලා සිටි නමුත් මට ඊට කලින් යන්න වෙන හැඩයි. නමුත් මම මා අතින් සදා නලීන් අත එවූ කෑම ඔබ ආශාවෙන් කෑ බව මම දනිමි. ලොකු කුසත් දරන් ඔබ උසාවියට යන හැටි නිසල් මා එක්ක ගොසින් පෙන්වූවා , නමුත් මගේ අසනීපය ඔබ දැනගැනීම මට ප්‍රිය වුනේ නැති නිසා මම ඔබ දැකීමට උත්සාහ කලේ නෑ. ඔබ මගේ හොඳම මිතුරියයි, මගේ ආදර සොයුරියයි. සැමදා සතුටින් ඉන්න.

සාරා..

ඉන් මසකට පසු මගේ දුව සාරන්‍යා උපත ලැබුවාය. ඈ මගේ ආදර සාරා මෙන්ම රූමත්ය, පැහැපත්ය. සාරා මෙන්ම සාරන්‍යාද ගුනවත්, කරුනාවන්ත, යහපත් දරුවකු වනු ඇතයි මගෙත් නලීන්ගෙත් බලාපොරොත්තුවයි. සාරන්‍යා අප වෙතින් ගිලිහෙමින් පැවති සතුට රැගෙන අප වෙත ආවාය. නලින්ගෙත් මගෙත් ප්‍රානය ඇයයි . ඇයට නලින්ගේ , මගේ මෙන්ම , සාරාගේද වූ අත්තම්මලා , අත්තාලා තුන් කට්ටුවකි. ඈට ඉමහත් ඇදරැති මගේ මල්ලීත් , නිසල් මාමාත්ය. මගේ නංගී අත නැලැවෙන සාරන්‍යා දකින මම විටෙක ඈ කිසිදා නොදුටු සාරා පුන්චී සිහි කරමි . ඈ සිහිවනවිට ඇසේ නැගෙන කඳුල තවමත් එදා මෙන්ම උනුසුම්ය.

නිලූ සේනාධීර
14.08.24



Comments

  1. කියවන්න උත්සාහ කළත් කලු පසුබිමේ සුදු අකුරු ඇහැට හරි වෙහෙසකරයි. අපේ වයස හින්දද මන්දා.

    ReplyDelete

Post a Comment

Popular Posts