මල් ලෝකේ රාණී..

  


මේ පින්තූරයේ පෙනෙන ඉතා කුඩා මල ඔබ සමරහරවිට දැක ඇති. එමල ඉතා කුඩාය , පොකුරු වශයෙන් හටගනී. කුඩා මල විශේෂ සුන්දරත්වයක් නොපෙන්වන නමුත්,ලංවී උවමනාවෙන් බැලූ කල එහි පියවි සුන්දරත්වය ඔබ විඳිනු නොඅනුමානයි. පඳුරක් හැටියට වැඩෙන මෙහි පත්‍රයේ පවා විශේෂ සුන්දරත්වයක් නොමැත. එසේනම් “මල් ලෝකේ  රාණී” ලෙස මම මෙය හඳුන්වන්නේ ඇයි?


රැයේ පිපි පිච්ච (Night Blooming Jasmine) යනුවෙන් ඉංග්‍රිසි බසින්ද, හින්දි බසින් රැයේ රැජින " රාට් කී රාණී " යනුවෙන්ද ,සිංහලෙන් රෑ මනමාලිය නමින්ද හැඳින්වෙන මෙම මලේ ඇති විශේෂත්වය නම් , එහි මලද , කොලද මතු නොව ඉන් විහිදෙන වශීක්‍රාන්ත වූ මනමෝහනීය වූ සුවඳයි.

මතක හා බැඳුනු සුවඳ , නො එසේ නම් සුවඳ හා බැඳුනු මතක පිලිබඳ අත්දැකීම් ඔබටත් ඇති. මේ සුවඳ පිලිබඳ මගේ මතකය මා මගේ බාල බොලඳ ලමා කාලයට ගෙනයයි.

හතර වටින් සැඳෑ අඳුර ගලා එන වේලාවකි , සිංහ කුලුණු දෙපසැති , පැරනි යකඩ ගේට්ටුවක් ඉදිරිපස නොඉවසිල්ලෙන් බලා සිටිනා පියකරු තරුණ කතකි.ඇගේ දෙඇස් ඈ සිටගෙන ඉන්නා පටු මාවත දෙසටම යොමුවී ඇති සැටියකි. ඈ පැහැයෙන් පැහැපත්ය, දිගු වරලසැතිය, මදක් උසින් අඩු මුත් උසට සරිලන ගතින් යුතුය. ඈ රුවැතිය. ලංවී බැලූකල පෙනෙන රෑ මනමාලියේ රුව මෙන්ය. අව්‍යාජය.නැවුම්ය.

 නොවිසිලිමත් ඇගේ දෑසේ එකවර සැනසිල්ලක් ඇඳී යයි, ඒ පටු මාවත කෙලවරින් ඇඳි කුඩා දරුවන් තිදෙනකුගේ රුව මතුවූ නිසාවෙනි. ඈ වහා මුහුනේ තරහවක් මවා ගන්නට තැත් කරන්නී,පසු පසට කර මෙතෙක් සඟවා උන් දකුනත ඉදිරියට ගනී, එහි කොල පැහැ අමු කෝටුවකි.

දරුවන් ලංවත්ම කෝටුව උරුක් කරනා තරුණ මාතාව, දරු තිදෙනාගෙන්  ලොක්කාගෙ අතින් අල්ලා ගනී..

" මෙච්චර වෙලා හොඳ සෙල්ලම , මම කියල තියෙනවනේ ගෙදර එන්න ඕන වෙලාව"


" පිට්ටු කඩන්නයි ගියේ , මම වෙලාවට යමු කිව්වම , ඔන්න නංගි තමයි කිව්වෙ තව වටයක් කඩමු කියලා" කෑසගමින් උඩ පනින්නේ කෝටු පාර නොවැදෙනු පිනිසය.

අම්මා එවර කොලුවා අත හැර , කෙල්ල දෙස හැරේ .. කෝටුව උරුක් කිරීමට පෙරම අඬන මූනක් හදාගන්නා කෙල්ල ;

"අනේ අම්මා ගහන්න එපා , ගහන්න එපා" කියමින් හඬා වැටේ.

පාරක් වදින විටම කෝටුව කැඩේ , කෙල්ලට පාර නොවැදුන මුත් පාර වදින ඇගේ ගවුම නිසා "බොග්" ගා හඬක් නගී. කෙල්ලට පාර සීයක් වැදුනා මෙන් කෑ ගසා හඬන්නට ඒ ඇතිය .

කෙල්ල හඬයි , ලොකු කොලුවා පැන ගෙට දුවයි . පොඩි කොලුවා අඬන කෙල්ල සනසවයි .


බොරු තරහ මූන මැඩ මවගේ මුහුනේ මද සිනා නැගේ.ඈ රෑ මනමාලී කෝටුව විසි කරයි .

" හා හා ගෙට යමු බොරු ඇඬිල්ල නවත්තලා , පොඩි පුතා යන්න අක්කත් එක්ක මූන හෝද ගන්න, පොත් ගන්න පාඩම් කරන්න" කියමින් දරුවන් සමග ගෙට යන මව තම දරුවන්ට දඬුවම් පිනිස,  විසල් ගෙවත්ත පුරා  ඇති  නොකැඩෙන පේර කෝටු නොව  පහසුවෙන් කැඩෙන බිඳෙන රෑ මනමාලී කෝටුම ගන්නා හේතුව ඔවුන් හික්මවීම මිස දඬුවම් කිරීම ඈ නොඉවසූ නිසා බව ඒ දරුවන් කිසිවිටෙක දැනගත්තේ නැත.

මේ කුඩා කෙල්ල මා බව මම ඔබට කියමි. තරුණ කත මගේ අම්මා බව ඔබ දනී. මෙම මතක අතර සැරිසරන මේ මොහොතේ මම මගේ  ආදරනීය අම්මා සිහිව අඬා වැටෙමි. ඔබ හැරී පොටර් චිත්‍ර පට මාලාව බලා ඇත්නම්, එහි කඳුලු බිඳුවල රැඳුන මතක පිලිබඳ දර්ශන ඔබට මතක් ඇතයි සිතමි. මේ එසේනම් වසර හතලිස් පහක් පමන පරන සුවඳ මතක හා බැඳුනු මගේ කඳුලු බිඳුයි. ලොවේ කොතැනක කොයි තැනක මේ සුවඳ මගේ නාස් කුහර අග රැඳෙතත් , ඒ හැම මොහෙතේම මගේ මනසේ මේ මවත් , දරුවනුත් පිලිබඳ දර්ශණ පෙල චිත්‍රනය වෙනු වැලැක්විය නොහැකියි.


අපේ මහ ගෙදර කොනක සරුවට වැවුන රෑ මනමාලී පඳුරකි. ඒ අසල පහන් පැලයි. ඒ පහන් පැලේ  අම්මා පිදූ දෙවි රූ පිලිරූය. රාත්‍රී අන්ධකාරයේ මල් පොකුරින් බරවූ රෑ මනමාලිය  පහන් පැලේ දොරින් එබී , එමලින් දෙවියන් පුදා ඒ මනමෝහනීය සුවඳින් දෙව් අසපුව සුවඳවත් කරයි. දෙවියන් පිදීමට මීටත් වඩා සුදුසු , සුන්දර තැනක් ඔබට සිතිය හැකිද ? එවන් සුන්දර හදක් ඇත්තියකි මගේ අම්මා. මේ සුවඳ දැනෙන හැම මොහොතකම ඒ පැරනි නිවසත්,තරු පිරි රාත්‍රී අහසත්, මලින් පිරුන රෑ මනමාලීයත්,ඒ තරුණ මවගේ ආදරණීය බැල්මත් මගේ සිතේ මැවී, මැකී යයි.


කුඩා  අප වැඩිහිටියන්වන කලෙක ඒ රෑ මනමාලී පඳුර මැරී යන්නට ඇත. මට ඒ මරනය පිලිබඳ මතක කිසිවක් නැති. එසේ වන්නට ඇත්තේ ජීවිතය විසින් වෙනත් අලුත්   සුවඳ මතක මා සිත පුරවා තැබූ නිසාවෙන් වෙන්නටත් ඇති. අපි පසු කලෙක මහ ගෙදර විකුනා දැමුවෙමු . ඒ සුවදත් , රෑ මනමාලියත් , ඒ හා බැඳි මතක සිතුවමුත් මට අමතක වන්නට ඇත, ජීවිතයේ සොබාවය එයයි.


වසර ගනනාවකට පසු , මමත් මගේ සැමියාත් දුවත් මෙල්බර්න් නුවර එක්තරා ගමක එක්තරා වීදියක ව්‍යායාමයට ඇවිදින  එක් සරත් සැන්දෑවක,නෙක උයන් වතු මැදින් ගලා යන හුරුපුරුදු සුවඳකින් පොපියන මගේ නාස් පුඬු, ඒ සුවඳ හා බැඳුනු මෙතෙක් මට අමතක වුනු මගේ පුරුදු මතක මගේ මනසට ගෙනෙමින් " හා මතකද මේ සුවඳ?"  යනුවෙන් නිහඬවම මගෙන්ම ප්‍රශ්න කරයි. සුවඳ මතක මුත් ඒ සුවඳ ගෙනා ගස සොයා ගැනීමට කොතෙක් උත්සහා කලත් නොහැකිවූ නිසා මම දුකට පත් වූවද , " හා ඔස්ට්‍රේලියාවෙ එහෙනම් මේ ගහ වැවෙනවා" යන බලාපොරොත්තුව මම හදේ පැලපදියම් කර ගත්තෙමි.


එතැන් සිට වසර ගණනාවක් මම ඒ සුවඳ මතක මතක තියාගෙන උන් නිසා එක්තරා රාත්‍රියක කඩිමුඩියේ යහලුවකුගේ ගෙදර රාත්‍රී කෑමකට යෑමට සූදානම්ව අවසන් මොහෙතේ කල සාප්පු සවාරියකදී මම හදිසියේ එය දුටිමි.


ඔව්! රෑ මනමාලී පැලයක් ඒ සාප්පුවේ පැල සඳහා වූ වෙන්වූ අංශයේ තිබෙනු මම දිටිමි. නමුත් ඒ මොහොතේ සාප්පුව වසනා බැවින් ඒ පැලය මිලදී ගන්නට මට නොහැකි වුනි. මේ පැලය හා බැඳුනු මගේ සුවඳ මතක පිලිබඳවත්, මේ මොහොතේ මගේ අපේක්ශාභංගත්වයත් දුටු මගේ ආදරණීය සැමියා යහලුවාගේ රාත්‍රි භෝජනය මදකට අමතක කර තවත් රෑ වෙනතුරු ගනුදෙනු වලට වෙන්වූ ඒ සාප්පු ජාලයේම තවත් ශාඛාවකට රිය හැරවූවේය. මේ සාප්පුවේ ඒ පැල විකුනනු ඇද්දැයි සිතමින් තැවෙමින්  එහි ගියත් මගේ වාසනාවට එය එසේම වුනි . අවසානයේ මම ඉන් පැලයක්  මා සතු කර ගතිමි.

දැන් මගේ නිවසේ ගිම්හාන කුටියට ආසන්නයේ දැවන්ත රෑ මනමාලී  පඳුරකි. රෙදි සෝදන කාමරයේ දොර අසල තවත් එකකි. මේ පඳුරු දෙකම වසරකට දෙතුන් වරක් මලින් බරවේ . සීතල සෘතුවේදීවත් කොල නොහැලේ. සදා හරිතය.දවාලේ නිදන ඒ මල් රාත්‍රී අට වනවිට නිදි බර දෑස් පිසදා පුබුදු වේ. මල් පිපෙනවිට එහි සුවඳ මුලු පරිසරයම සුවඳවත් කරයි. ගේ දොර වසා තැබුවද එහි සුවඳ මා ලුහුබැඳ මා වටා දැවටේ.ගේ දොර ඇරි කල වෙනමම ලෝකයකි. ඒ සුවඳ දරා විඳගනු මිස ලියා දක්වනු නොහැකිය. 


මම බොහෝ විට ගිම්හාන කුටියේ බංකුවේ  නිසොල්මන්ව වාඩිවී ඒ සුපුරුදු  සුවඳේ අතරමං වෙමි. ඒ සුවඳ මගේ අම්මාගේ සුවඳයි , ඇගේ අපරිමිත ආදරයේ සුවඳ සංකේතයයි.


මගේ අම්මා අපෙන් වෙන්ව වසරකට කිට්ටු කාලයක් ගතවී ඇත.කාලයත් සමග ඇගේ රුව මට අමතක වේ යයි මම බියෙන් පසුවෙමි .මගේ අම්මාද අමතක වන රෝගයෙන් පසු කලෙක පීඩා වින්දාය. නමුත් මගේ දුරකතනයේ ඇගේ චායාරූප ගොන්නකි. මම ඈ සිහිවන හැම මොහොතේ ඇගේ ජීවිතයේ විවිධ අවධීන්හී ගත් ඡායාරූප අතර සැරිසරමි. ඇගේ අවසන් කාලයේ ගත් ඡායාරූප නම් මගේ සිත පාරයි. ඒවායේ ඈ ඉතා සිහින්ය , රෝගී පෙනුමැතිය .නමුත් මගේ අම්මා අප සමග ඔස්ට්‍රේලියාවේදී ගත් පින්තූර මට මිහිරි මතක ගෙනෙයි. ඒවායේ ඈ ඉතා ප්‍රීතියෙන් සිනාසෙමින් සිටී.

මම මගේ ගිම්හාන කුටියේ නිසන්සලේ වාඩිවී රෑ මනමාලී මල් සුවඳ විඳිමින් අම්මා සිහි කරමි. මල් සුවඳද මගේ අම්මාගේ මතකද එකකි.එක දෙයකි.


නිලූ සේනාධීර

04.05.24





Comments

  1. නියමයි. ලස්සනට ලියලා තියනවා.
    මල් සුවඳ දිගේ මමත් ආවෙ.

    ReplyDelete
  2. පුංචිම පුංචි මල් වෙන් වෙන්ව ගත්තම අපූර්වත්වයක් නොපෙනුනත් එක පොකුරකට පිපුනම දුර සිට බලනවිට එහි නියම සුන්දරත්වය පෙනෙනවා.

    ReplyDelete
  3. ලස්සන සුවද මලක් ලස්සන විස්තරයක්.
    ජයවේවා !!!

    ReplyDelete

Post a Comment

Popular Posts