බොක්කා

දමිතා නැන්දා මා වෙනුවෙන්ම සැදූ රසම රස තේ කෝප්පය බොමින් ඔවුන්ගේ සැප පහසු සෝපාවේ පහසුවෙන් වාඩිවී නිස්කාන්සුවේ සිටි මම, එක්වරම තේ කෝප්පය පසෙක ලා නහය හකුලමින් නැගී සිටියේ කොහෙන්දෝ නැගී තදබල දුර්ඝන්ධය හේතුවෙනි.

 

" නැන්දේ, කොහෙන්ද අප්පා මේ ජරා ගඳක් එන්නේ " මම සාලයේ සිටම මොර දුන්නේ ,කුස්සියේ හෝ කාමරයක කිසියම් වැඩක නිරත්වෙන බව සිතූ දමිතා නැන්දාට ඇසෙන තරම් මහා හඬිනි.

දමිතා නැන්දා මට නෑ කමින් නොව මිතුරු කමින්, දයාබරත්වයෙන්  නැන්දා වූවාය. ඇය මගේ ප්‍රාන සම මිතුරිය වූ සුරංජීගේ ආදරනීය මවයි.

 

" ඔය පුතේ කමනිලගේ ගෙදර ටොයිලට් වලක් අස් කරනවනේ අද" අපිට නම් ඊයේ ඇවිත් කිව්වා අද දොරවල් වහගෙන ඉන්න කියලා, ඒකනේ ඔය සුරංජිත් උදෙන්ම ඔගොල්ලන්ගේ ගෙදර යන්න ලෑස්තිය, ගඳේ බෑ කියලා"    සාලයට එබෙමින් දමිතා නැන්දා කීවාය.

 

" ආහ් නැන්දේ ,නගර සභාවෙන් නෙමෙයිද ඔය වල අස් කරන්නේ , ඔය හැටි ගඳක් එන්නෙ"

" නෑනේ පුතේ ඔය බොක්කා නේ වල අස් කරන්නේ , ඌට ඉතින් රුපියල් පන්සීයක් දුන්නම නීලමහා යෝධයා වගේ වැඩ කරනවනේ , නගර සභාවට කීයක් නම් දෙන්නද , ඔයා ඉතින් දන්නවනේ කමනි නැන්දා ඉල්ලිස සිටානන්ට දෙවැනි නෑනෙ"

 

දමිතා නැන්දා තව මොන මොනවදෝ කියවා ගෙන ගියත් , මට නෑසුනේ මගෙ හිතේ බොක්කා පිලිබඳ ඇතිවූ මහා කම්පාව නිසාවෙනි. ඔබ දන්නා පරිදි "ටොයිලට්" වල යනු වැසිකිලි වලකි . ඉංග්‍රිසි වචනයකින් ඔපදමා කතාවේදී විචිත්‍රව වැහැරුවත් , පැහැරූ වසුරින් පිරි වලක් ඉන් ඔබ සිතේ මැවීම නොවැලැක්විය හැකිය.

එලෙසම වසුරු වැකි වතින් යුතු , කෙට්ටු,උස්  ඇටසැකිල්ලකට නොදෙවැනි සිරුරෙන් යුතු , කිලිටි කඩමාල්ලක් දවටා ගත් තරුණ කොල්ලෙකු වසුරින් පිරි වලක් තුලින් ගොඩට පැන , අව්‍යාජ හිනාවකින් දසන් දක්වා " අහ් , තිසුලි අක්කේ" කියනු මගෙ හිතේ ඇඳී , මැකුනි.

බොක්කාගේ නියම නම බොක්කා නොවේ. ආසන්න ලස්සන නමකි. ඔහුගේ දෙමවුපියන් ඔහු උපන් මොහොතේ ,බොහෝ විට ඝන පිහිටුවා ඉන් නැගෙන අරුත  තම නැණ පමනින් සලකා බලා , ඔහු වෙනුවෙන් වූ ආදරයෙන් ඔහු එනමින් නම් කරන්නට ඇත. එවැනි අරුතැති නමකින් පෙර හඳුනාගත්  ඔහු බොක්කා වැනි ග්‍රාම්‍ය නමකින් හැඳින්වෙන්නට තරම් වූ කරුනු කාරනා කවරේද? එය ඔහුගේ අවාසනාවද ? කර්මයද ? දෛවයද?

 

 ඔහුගේ කතාව ඉතා කනගාටුදායක බව මම ඔබට කියමි .නමුත් ඔහු පිලිබඳ මා මෙන් කණගාටු වන තවත් අය සිටිතැයි යන උපකල්පණයෙන් සහ ඔහුගේ අනන්‍යතාවය හෙලි වීමෙන් ඔහුගේ ලබැඳියන් ඇතොත් සිදුවන අපහසුතාවය වලක්වන්නට මම ඔහු මෙහි " සමිත" යනුවෙන් නම් කරමි.

 

සමිත මා දන්නේ ඔහු ලදරු පාසල් යන වියේ සිටයි . එකල මාත් සුරංජීත් දෙවැනි ශ්‍රේණියේ  පමනය. සුරංජීගේ මල්ලී සුපුන් සහ සමිත අතිනත අල්ලාගෙන එකම ලදරු පාසැලට ගියහ, එක දවසක් දමිතා නැන්දාත්, ඊලඟ දවසේ සමිතගේ අම්මා කුසුමා නැන්දාත් සමගය. මූන පුරා පියරු දමා ලස්සන පොඩි කලිසම් කමිස , සපත්තු වලින් සැරසී කුඩා පොත් බෑගයක් උරේ හරහට දමාගත්  සුපුනුත් , සමිතත් මට මේ දැනුත් මැවී පෙනේ.

කොලුවන් දෙදෙනාම පෙනුමෙන් පැහැපත්ය  . සුපුන් මල්ලී සුද්දෙකු මෙන් පැහැපත්  වුවත් සමිත මල්ලීට වූයේ අප්‍රිකානුවකු මෙන් කැරලි ගැසුන කොන්ඩයකිකුඩා වියේ සිටි ඔවුන් දෙදෙනා ඉතා හුරුබුහුටි දරුවන්වූහ.

 මාත් සුරංජීත් විසින් පාසැලෙන් ගෙනෙන්නට යෙදුනු .දි.හැ.. විස්කොතු කෑමට මේ මල්ලිලා දෙදෙනාම පොරට වැටුනාහ. ඉතින් බොහෝ විට වියයුතු පරිද්දෙන් සුරංජී ගෙනෙන විස්කෝතු සුපුන් මල්ලීටත් , මා ගෙනෙන විස්කෝතු සමිත මල්ලීටත් ලැබේ. මටත් , මා දන්නා පරිදි සුරංජීටත් සමිතත් , සුපුනුත් අපේම මල්ලිලාය.

 

සුරංජීගේ නිවසට යාබද නිවසක විසූ සමිත , වැදගත් යයි සැලකෙන පවුලක දරුවෙකිඔහුගේ පියා රජයේ  ඉහල  රැකියාවක් කල සුහදශීලී මිනිසෙකි . සුරංජීත් මාත් නිරතුරුව සමිතගේ නිවසට ගිය අයයි , බොහෝවිට සුදු වැල්ලෙන් පිලුන බෝ මලුවක් වැනි ඔවුන්ගේ මිදුලේ සෙල්ලම් කිරීමට හෝ ඔවුන් නිරතුරුව මිලදී ගන්නා දිනපතා පත්තරය කියවීමටයි. යන බොහෝ දිනක සමිතගේ තාත්තා ඔහු විසින් සමිතටත් , ප්‍රමිතටත් ගෙනෙනා රසකැවිල්ලක් අපටත් දෙයි . ප්‍රමිත යනු සමිතගෙ වැඩිමල් සොයුරාය. ඔහුත් මගේ සොයුරාත් එක පෙලේය. සමිතට ප්‍රමිත හැර තවත් වැඩිමල් සොයුරෙකි , එක් සහෝදරියකි . ඔවුන් සියල්ලෝම රැකියාවල නියුතු වන වයස් වල බැවින් අපිට ඔවුන් අපේ ලෝකයට අයත් නොවූහ.  . නිසා , ප්‍රමිත , සමිත , මම , සුරංජී , ඇගේ මල්ලී සුපුන්, මගේ අයියා පසන් එකම පවුලක දරුවන් මෙන් හැදී වැඩුනාහ.

උදේ , දිවා, රෑ අපි එකටමය . එක වරෙක ගහමරාගන්නා අපි එක ඇසිල්ලකින් නැවතත් මිතුරුවෙමු. මාත් සුරංජීත් වැඩිවිය පැමිනි පසුත් , කොල්ලන් කරදඬු දික්වූ පසුත් අපේ මිතුරුදම් නොවෙනස්ව පැවතුනි.

 

සමිතත් , ප්‍රමිතත් පරසිදු පෞද්ගලික පාසැලකින් අධ්‍යාපනය ලද්දහ, මාත්, සුරංජීත් එකම කන්‍යාරාමයත් , සුපුන් මල්ලිත් , මගේ අයියාත් එකම රජයේ පිරිමි පාසැලටත් අකුරට ගියෙමු. උදයට , හවසට එකම පාසැල් බසයෙන් යනෙන අපි , හවසට එකම අමතර පංතියෙදී මුන ගැසෙමු. සෙල්ලම් කලෙමු, කෑවෙමු , බීවෙමු. නින්දට පමනක් වෙන් වුනෙමු. සමිත ගණිතයෙදි අති දක්ශයෙකි , සමහර දිනක අමතර පංතියේදී ගුරුතුමන්ට පැටලුන ගණිත ගැට පවා සැනෙකින් ලිහා නිරවුල් කලේ සමිතයි. අපි කාටත් වඩා ඉගෙනීමේදි විශිෂ්ඨ දක්ෂතා පෙන්වූයේ ඔහුයි. කවදාහෝ ඔහු ඉතා වටිනා අනාගතයකට හිමිකම් කියන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුනි.

 

ව්‍යසනය ඇරඹුනේ  සමිතත් , සුපුනුත් .පො.. සාමාන්‍ය පෙල  විභාගයට පෙනී සිටීමෙන් පසුවයි. වෙද්දී මාත් ,සුරංජිත් උසස් පෙලට පන දාගෙන වෙහෙසෙන නිසා අපි හය දෙනා අතර තරමක දුරස්ථර බවක් විය. සුපුන් මල්ලී නම් උසස් පෙලට අමතර පන්ති වලට යයි . නමුත් සුපුන් මල්ලීටත් වඩා හොඳින් සමාන්‍ය පෙලට මුහුන දුන් බවට අපි විස්වාස කල සමිත මල්ලීට උසස් පෙල ගැනද කිසිඳු සැකයක් නොතිබුනා විය හැක. අපිටද  ඔහු ගැන, ඔහුගේ හැකියාව ගැන සැකයක් සාන්කාවක් නොවීය. අපි  විහිලුවට ඔහු හැඳින්වූයේ   " අපේ පොඩි  දොස්තර මහත්තයා " කියායි.  ඔහු ඉන් මෙහා නොනවතින බව අපි දැන සිටියෙමු.

 

සුරංජී අසනීපෙන් පසුවූ එදින මම පන්ති යාමට , හන්දියෙන් බස් රථයට නැග , අයිනක් අල්ලා වාඩි උනෙමි. මේ බසය අප ගෙවල් අසලින් පටන් ගෙන ගාලු පාර දක්වා දිවෙයි.

 

" තිසුලි අක්කෙ " යි කන ලඟින් ඇසුන හුරුපුරුදු කට හඬින් මම හිස එසවූවෙමි. සමිත මා අසල හිටගෙන හිනැහෙමින් සිටී.

 

" අහ් සමිත මල්ලි , මොකො මේ කොහෙ යන්නද"

" නෑ අක්කෙ , කොහෙවත් නෙමෙයි , දෙන්නකො මට සල්ලි , මම මේ බස් එකේ ටිකට් කඩන්නෙ"

"මොකක්"

" නෑ නෑ අක්කට සල්ලි නැත්තම් කමක් නෑ"

" මොකක්ද මෝඩයො කිව්වෙ , බස් එකෙ ටිකට් කඩන්නෙ  ?මොකටද ?" මම කම්පිතව ගිය හඬින් විමසීමි.

'නෑ අක්කේ අම්ම හැමතිස්සේම කියනවා මම ගෙදරට වෙලා නිකං කකා බිබී ඉන්නවලු ,   ප්‍රථිපල එනකම් මේ මාස කීපෙවත් මහන්සි වෙලා වැඩ කරලා ගෙදරට කීයක් වත් හොයලා දෙන්නලු "

" මොනවා , ඉතින් කුසුමා නැන්ද ඔයාට මේ වගේ රස්සාවක් කරන්න කිව්වද ? මල්ලි මොන රස්සාවත් හොඳට කලොත් හොඳයි , ඒත් ඔයාට මේ ලොකු මිනිස්සු එක්ක හරි හරියට මේ වගේ එකක් කරන්න දුන්නේ කුසුමා නැන්දාගෙත් , සුගත් මාමාගෙත් මොලේ හොඳ නැද්ද ? ඔයා තාම පුංචි ලමයෙක්නෙ ."මම ආවේගයෙන් යුතුව ඇසීමි.

 

"මම සෑහෙන ගානක් දවසට හම්බ කරනවා අක්කෙ, ඉතින් අම්මට සතුටුයි" අහිංසකව සිනාසුන කොල්ලා කීවේය.

 

" අනේ මල්ලි , ඔයාට මේ වගේ රස්සාවක් කරන්න සුදුසු නෑ, මෙතන නානාප්‍රකාර මිනිස්සු වැඩ කරන්නෙ , සමහරු බොනවා, මෙතන රැවටිලි වංචා බොහොමයි ,අනතුරු දායකයි  ලොකු මිනිහෙකුටවත් මේ වගේ රස්සාවක් අමාරුයිදැන්වත් ඔහු මේ විනාශයෙන් ගලවා ගැනීමේ අදහසින් මම කීවෙමි.

 

" නෑ අක්කෙ මට පුරුදුයි , මම දැන් සුමානෙක ඉඳන් මෙතන වැඩ ,ඔන්න අක්කට ටිකට් අද මම ගානෙකියමින් ඔහු මාවෙතින් ඉවත්වීය.

 

අපේ පොඩි සමිත මල්ලී " හා මොරටුව , ගාලු පාර , මොරටුව, ගාලු පාර , නගින්න , නගින්න " කියමින් මිනිසුන් බසයට ගාල් කරනුද , මුදල් ලබාගනුද , ඉතිරි මුදල්  දෙනුද මම ඉතා ශෝකයෙන් බරවූ හදින් යුතුව බලා සිටියෙමි.

 

සති , මාස කීපයක් ගතවෙද්දී  සමිත තවදුරටත් අපි නොදන්නා වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වූයේ අපේ ඇස් පනාපිටය. ඔහු වටා වූයේ ඔහුගේ තරමට නොගැලපෙන වැඩිහිටි පුද්ගලයන්ය. ඔවුන්ගේ ඇසුරට යොමුවුන තරමටම සමිත  අපේ සමාගමයෙන් දුරස් විය.

මගතොටදී මම කීප වාරයක් ඔහු දුටුවත් , ඔහු පෙරදා හිතවත් කමින්ම " ආහ් , තිසුලි අක්කේ" කීවත් , ඉන් ඔබ්බට මා හා කතාවට සූදානම් නැති බව අඟවමින් වහා මා මඟහැරියේය. සුරංජීටත් , සුපුන් මල්ලීටත් , පසන් අයියාටත් ඔහු  මට සේම වචනයෙන් දෙකෙන් උත්තර දී ඈත් වන බව ඔවුන් කීහ.

 

  මුලින්ම සමිත ඇබ්බැහි වූයේ දුම් උරන්නටය. අප දුටුවිට මුලදී දුම් වැටිය හංගාගත්තත් පසු කාලයේදී අප දුටුවත් ඔහු එය අපෙන් සැඟවූයේ නැතඅපේ අවවාද අනුසශනා බීරි අලින්ට වැයූ වෙණ නද මෙන් විය. බස් ගාලේ තාප්පයකට කකුලක් ගසා, තනි කකුලෙන් සිටගෙන බස් පොලේ රියදුරන් , කොන්දොස්තරවරුන් වූ මහ මිනිසුන් හා සමව දුම් උරනා සමිත අපිට සුලභ දර්ශනයක් විය.

 

ඉන් අනතුරුව අපි නිතර මත්වූ සමිත කෙනෙක් දිටිමු. මත් වතුර ඔහුට නැතිවම බැරිවිය. මත් වතුරෙන් මත්වී රිය පොලේ කොල්ලන් , මිනිසුන් හා ඔහු නිතරම කලහා කරනු බසයට නගින්නට යන අපිට හුරුපුරුදු දර්ශනයක් බවට පත්විය. පරුස වචනයෙන් මහා මිනිසුන් හා බැන අඬගසන සමිත අපි පෙර දවස දුටු ආදරනීය කොලුවා දැයි අදහාගත නොහැකි විය. දහම් පාසැලේ උද්‍යෝගිමත් සිසිවකු වූ සමිත , සාමාන්‍ය පෙල සියලුම විශයන්ට අධි සම්මාන ලද සමිත , අනේ අහිංසකයා නරුමයකු වූ හැටි.

 

සමහර දිනක මගේ අයියා පසන් විශ්ව විද්‍යාලයේ සිට ගෙදර එන දිනක රාත්‍රියේ මහමග බීමත්ව වැටී උන් සමිත මල්ලීව කරගසා ඔහුගේ ගෙදර ගොස් දමයි.

" මම අර කොල්ලගේ අම්මයි කියන කෙනාට කිව්ව අද හොඳ දෙකක් " දිනක මහා රාත්‍රියක වැස්සේ තෙමී බත් වී පැමිනි අයියා කීවෙ මහා ආවේගයකිනි.

 

"මොන කොල්ලද , මොන අම්මද ?" පුදුමයට පත් අම්මා ඇසුවාය.

 

" අර කුසුමා නැන්දා කියන මෝඩ මහගේට , අර අහිංසක කොල්ලව සල්ලි නිසා විනාස කරාට, ඉවරයි , ඉවරයි. අනේ අහිංසකයා  " කියමින් අයියා තෙත බරිත වූ ඇඳුමින්ම පුටුවකට කඩා වැටී , දෙ අතේ ඔලුව ගසා ඉකි බිඳින්ට විය.

 

කිසිදා මගේ අයියා පසන් මෙසේ දුකින් වැලපෙනු දැක නැති අපිත් භිරාන්තව බලා සිටියෙමු. ටික වෙලාවක් දුකින් වැලපුනු අයියා , දිග සුසුමක් ගෙන පහත් හඬින්,

 

" කොල්ල කුඩු වලට පුරුදු වෙලා අම්මා , බලන්න මොන තරම් වටින දක්ශ කොල්ලෙක්ටද මෙහෙම උනේ" කියමින් නැවතත හිස අත් බදා ගත්තේය .

 

අපි තුශ්නිම්භූතව ගියෙමු. අපි කාටත් කතා කරගත නොහීය . කිසිවෙකු වචනෙකිඳු නොදෙඩූවද වැටුන වැටුන තැන්වල සිට  අපි ඉඳහිට හෙලූ සුසුමක නොකිවූ වදන් දහසක දුක් සංතාප ගැබ්වී තිබුනි.

මත්කුඩු උවදුරක් , වසංගතයක් මෙන් ලංකාව පුරා පැතිරීම ආරම්භ වූ යුගයයි .නිසි විනයක් , මග පෙන්වීමක් තම පවුලෙන් හෝ සමාජයෙන් නොලැබූ බොහෝ තරුණ දරුවෝ මෙම වසංගතයේ ඉතා පහසු ගොදුරු වූහ.

 

 කුසුමා නැන්දාටත් , සුගත් මාමාටත් සමිත මල්ලී ගැන අපි දැනගත් තොරතුරු කියා , වහාම ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා දී මේ උවදුරෙන් ගලවා ගන්නා ලෙස මමත් , සුරංජීත් , පසන් අයියාත් , සුපුන් මල්ලීත් නොයෙක් වර කරන ලද ඉල්ලීම් , අයාචනා බිහිරි අලින්ට කල වෙණ වැයුම් මෙන් විය. ඉන් නොනැවතී කුසුමා නැන්දා අපි සමිත මල්ලීට අපි කතන්දර හදන බවට නොයෙක් තැන් වල අවලාද කියා ඇති බවද අපි ඇසීමු.

 

අවසානයේදි කුසුමා නැන්දා සමිත පිලිබඳ සැලකිලිමත් වූයේ ඔහු විසින් ගෙදරට දෙනු ලබන දෛනික මුදල් ප්‍රමාණය අඩු වෙද්දීය. නමුත් වන විට සමිත මත් කුඩු සිහින මාවතේ ආපසු හැරිය නොහැකි දුරක් ගමන් කොට තිබුනි.

මේ කාලය වනවිට අපි දුටු සමිත ,වයසට වඩා මහලු , දිරාගිය සිරුරින් යුතු , තුනීවූ කෙසින් යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "කුඩු කාරයෙකු" මෙනි. කිලිටි වී ගිය  සිරුරට වඩා විසාල වැරහැලි ඇඳ , හෙම්බිරිස්සා කාරයෙකු මෙන් " සූස් , සූස් " යනුවෙන් නහය නිතරම උඩට ඇද ,ඇද නමුත් මා  දුටුවිට තිසුලි අක්කේ" කියමින්  නැගෙන හිත මිතුරු සිනාව පෙරදා මෙන්ම අව්‍යාජ විය.

 

කුසුමා නැන්දා තම පුතු මෙම උවදුරින් ගලවා ගන්නට යැයි කියමින් පන්සල්, පල්ලි , දේවාල ගානේ යන්නට වූවාය . උදයේම සාරියක් පටලවා ගන්නා ඇය ගෙන් පිටවීගොස් අඳුර වැටෙන යාමයේ ගෙට ගොඩවූයේ " අද ගිය තැන කරපු සාන්තියෙන් ඔය පුරුද්ද නැතිවෙයි" යන මහත්වූ බලාපොරොත්තුවෙනි. නමුත් දවස කවදාකවත් උදාවූයේ නැත.

 

තම ආදර පොඩි පුතුට වූ විපැත්තිය පියවි සිතින් දරා ගැනීමට තවත් බැරි තැන සුගත් මාමා මත් වතුරේ වහලෙකු බවට පත් විය . නිතරම බීමතින් පසුවූ ඔහු , අපි දුටු විටෙක හඬ වැටුනේ පොඩි දරුවකු මෙනි . 'මගේ කොල්ලා, අනේ මගේ කොල්ලා..මම .. මට .. මට පව්  .. " යනුවෙන් තම දුක අප ඉදිරියේ තබන්නට ඔහු උත්සාහ කරතත් , ඉන් එහාට අදහස් ගලපා කතා කරගත් නොහැකි තරමට ඔහු බීමත්ය. තවදුරටත් ඔහු විඳි  දුක් වේදනා දරාගත් නොහුනු එක්තරා රාත්‍රියක ඔහු තම දිවි තොර කරගෙන තිබුනි. තම කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගැනීමෙනි.

සුගත් මාමාගේ මරණය අපිටත් එසේම සමිතටත් ඉතාම බලපෑමක් කල කාරණයක් විය. සමිතව කෙසේ හෝ මේ මත් කුඩෙන් මිදවීමට අපිට තිබූ උවමනාවම ඉන් මිදීමට ඔහුටත් ඇතිවී තිබුනා සේය. මලගෙදර පුරාවට මිදුලේ කොනක පුටුවකට වී බලාගත් අත බලා හිඳි සමිත මල්ලී , දේහය කනත්තට ගෙනියන මොහොතේ පසන් අයියා බදාගෙන කෑ මොර දෙමින් හැඬුවේය. ඔහු මෙල්ල කිරීම පසන් අයියාටත් , සුපුන් මල්ලීටත් තනිව කල නොහැකි තරම් විය.

 

මලගම අවසානයේ මදක් සංසුන්වූ ඔහු ගේ දොර අස් පස් කරමින් වුන් අප වෙත පැමින , පසන් අයියා අමතා,

" අයියේ මාව මේකෙන් ගොඩදාන්න අයියේ ... මම මහා පව්කාරයෙක්.. තාත්තා මරා ගත්ත පව්කාරයෙක්කියමින් පසන් අයියා ඉදිරියේ වැඳ වැටුනි .

 

එතැන් පටන් ඇරඹුනේ සමිත මල්ලි මේ නරාවලෙන් ගොඩගැනීමේ මහා සටනයි. එවකට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගෙනම්න් සිටි අයියාට සමිත මල්ලීට අවශ්‍ය " ගැලැවීමේ මාර්ගය" සොයාගැනීම ලෙහෙසි කටයුත්තක් විය . අයියා දන්නා හඳුනන වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් අවසානයේදී සමිත මල්ලී ගාල්ල ප්‍රදේශයේ එක්තරා පුනරිත්ථාපන කඳවුරක නිවැසියෙක් විය.

 

වරින් වර අපි ඔහුට අවශ්‍ය කරන කෑම බීම , තැඹිලි , යෝගට් වැනිදෑද රැගෙන ඔහු බැහැදැක්කෙමු. ඔහු ඉතා හොඳින් සුවපත් වෙමින් සිටියේය. එය අපේ හිත්වලට මහා සැනසීමක් දුන් කාරණයක් විය. එහි නිවැසි කාලසීමාව වූ මාස හයක් අවසානයේ  සමිත මල්ලී නැවත්ත අප අතරට නිරෝගී තරුනයකු මෙන් පැමිනියේය. පසන් අයියාගේ මැදිහත්වීමෙන් ඔහුට ගිණුම් ලිපිකරුවකු මෙන් කුඩා පෞද්ගලික රෝහලක රැකියාවක්ද ලැබුනි. ඔහු පිරිසිදුවට , පිලිවෙලට දිනපතා රැකියාවට යනු දැක අපි සැනසුම් සුසුම් හෙලීමු.

සමිත මල්ලීගේ අක්කා පිටරටක පදිංචියට ගියේ සැමියාද , තම දරුවාද සමගිනි. ප්‍රමිත        " මල්ලි දැන් අම්මාව බලා ගනීනේ " යන බලාපොරොත්තුවෙන් මැද පෙරදිග රැකියාවකට ගියේය. ඔහු විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කලේය. සමිතත් , කුසුමා නැන්දාත් ගෙදර තනිවුනි. අපි අපිට හැකි සෑම විටම ඔහු ගැන සොයා බැලුවත් , අපේ ජීවිතවලත් සිදුවූ ඉගෙනීම් , විභාග , පෙම්වතුන්, පෙම්වතියන් මැද අපිට ඔහුව තරමකට අතපසු වෙන්නටත් ඇති බව මට දැන් සිතේ.

 

අපිට අසුභ ආරංචිය නැවත ගෙනාවේද පසන් අයියාමය. සීමාවාසික වෛද්‍යවරයෙක් වශයෙන් ඉතා කලබල , වැඩ කටයුතු බහුල දිවියක් ගත කලද ඔහු නිතර සමිත මල්ලී ගැන සොයා බැලුවේ ඔහු අපිට අපේම මෙන් දැනුන බැව්නි. අපේ ගෙදර නිතර පැමින කා බී කාලය ගතකොට ගියද සමිත මල්ලීගේ අමුත්තක් නැවත අපිට දැනුන කාලයයි මේ.

" සමිත දැන් දවස් ගානක් වැඩට ආවේ නැතිලු , මට නිශාමණී කිව්වෙ" අයියා කීවේය. නිශාමණී යනු අයියාගෙ පෙම්වතියි, ඈද වෛද්‍යවරියකි. ,සමිත වැඩකල කුඩා පෞද්ගලික රෝහල නිශාමණීගේ පවුලට අයිති වූවකි.

 

'අහ් ඒක තමයි එහෙනම් අර  බස් සාගර එක්ක සමිත ආයෙත් රවුම් ගහනවා කියලා කුසුමා අක්ක මට කීවෙ , හපොයි  එහෙනම් කොල්ලා ආයෙත් සෙල්ලම පටන් ගෙනවත්ද " කම්මුලේ අත තබා අම්මා විස්සෝප වූවාය.

 

එය එසේම විය , සමිත රැකියාවට යාම පසෙක තබා නැවතත් පාරේ අතන මෙතන නිකරුනේ රැඳෙනු පෙනුනි. වෙන කවරදාටත් වඩා ඔහුගේ පෙනුම දුර්වල , දුක්මුසු විය. වැරහැලි ගතේය , දත් දුවර්ණය , මුහුනේ හකු පාඩා බේරිලාය , දෑස් යට ගිලීය පාටින් රතුය , සිරුර දුබල මහල්ලෙකු සේය , ගතින් දුඟද හමයි, පාරේ අතන මෙතන නිදයි , ගෙදර නොයයි.

 

මාත් , සුරංජීත් , පසන් අයියාත්,සුපුන් මල්ලීත් කොතෙක් උත්සාහ කලද ඔහු නැවත වෛද්‍ය ප්‍රථිකාර හෝ පුනරුත්ථාපන රැඳවිය ප්‍රතික්ශේප කලේය. මා කීප වරක් ඔහු හමුවී " මල්ලි අපි ආයෙත් බෙහෙත් ගමු" කීවිට ඔහු කීවේ,

 

"අක්කෙ මම මගේ ඉරණම මේක තමයි කියලා මම බාර අරං ඉන්නේ , මාව මැරුනත් රටට බරක් නෑ, කාටවත් බරක් නෑ. මගේ ජීවිතෙ මෙහෙම ගෙවිද්දෙන් ".

සමිත "බොක්කා" නමින් හඳුන්වන්නට පටන් ගැනුනේ කෙසේදැයි මම නොදනිමි. ඔහුගේ සැබෑ නමට "බොක්කා" තරමක් ආසන්න බවනම් දනිමි. මගේ විස්වාසයේ හැටියට ඔහු එනමින් හැඳින්වෙන්න වූයේ මුදල් ලබාගැනීමේ කිසිඳු ක්‍රමයක් නොමැතිව  කුලී වැඩත් , ඉන් නොනැවතී හොරකමුත් කිරීමට පටන් ගත් අවදියේය. ඔහුගෙන් මේ කුලී වැඩ කරවාගත් , ඔහු පෙර හොඳින් දන්නා අඳුනන පවුලේ අය මෙන් සිටි මිනිසුන්ට ඔහුට "සමිත" යන නාමයෙන් ඇමතීමට යම් අපහසුවක් වූ නිසා මෙන්ය.

 

ඉතින් , පොල් කැඩීම , කානු සුද්ද කිරීම, තීන්ත ගෑම මතු නොව වැසිකිලි වලවල් ඉසීම ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ග විය . එසේම හොර පොල් කැඩීම , වැල් වලින් ඇඳුම් හොරකම් කිරීම වැනි කුඩා අපරාධ වලට බොක්කා ගේ නම නිරතුරුව ඈඳිනි. දරුවන් පිටරට පදිංචි, වැන්දඹුවකුවූ  සුලාරි නැන්දා ගෙදර නොමැති අවස්ථාවක ඇගේ  ගෙට පැන මුලු ගෙදරම අත පත ගා ගෙන ගොස් තිබුනේ බොක්කා විසින් බව සුලාරි නැන්දා පරසක්වල ගැසුවායඑසේ කීමට හේතුව වූයේ ඇතිකල " ඩියුක්" නම් වූ බිහිසුනු පෙනුමෙන් යුතු  "රොට්වයලර්" වර්ගයේ බල්ලා, සමිත නොහොත් බොක්කා වෙත කිසිදා කඩා නොපැනීමයි.   ඒ කුඩා කල සිටම සමිත ඇතුලු අප සැමගේ සුරතලකු වූ බැවිනි.

 

මිනිසුන් වෙනස් වන අයුරු පුදුමාකාරය . සමිතට තම කුස ඔත් දරුවකු ලෙසින් ආදරය කල අපේ මව පවා " අර බොක්කා , අර කාලකන්නි  කොල්ලා" යනුවෙන් ඔහු හැඳින්නුවේය. සුරංජී ගේ මව පවා ඇගේ ගෙදර කුලී වැඩට බොක්කා ගෙන්වාගත්තීය . අපේ අම්මා එසේ නොකලේ , එසේ නොකරැන්නයි මාත් පසන් අයියාත් විසින් ඈට තරයේ කියා තිබුන බැවිනි, සහෝදරයකු මෙන්වූ කොල්ලාගෙන් එසේ කුලී වැඩ කරගැනීමට අපේ හිත් හදා ගැනීමට අපිට බැරිවූවාසේය.

 

සමිතගේ නිත්‍ය වාසස්තානය දුම් රිය ස්තානයේ පියගැටපෙලේ එක් අඳුරු මුල්ලක් වූ කල්හි , කුසුමා නැන්දා ගෙවල් දොරවල් විකුනා දමා අතුරුදන් වූවාය , අප කිසිවකුට හෝ නොදන්වමිනි. විසින් හා පවුලේ සියල්ලන් විසින් සමිතව පවුලෙන් නෙරපා හැර තිබුන බව පෙනිනු.

 

කඩිමුඩියේ දුම් රිය පියගැටපෙල නගිනා බොහෝ දිනවල සමිත එහි මා බලාපොරොත්තුවෙන් බලා හිඳියි . මම ඔහුට දිනපතා බත් පර්සලයක් දුනිමි . කොන්ඩය රැව්ල  කපා ගැනීමට මුදල් දීමි. ඔහු මුදල් කුමන දෙයකට පාවිච්චි කරන්නට ඇත්දැයි මම දැනගන්නේ පසුදාත් ඔහු වැවී ගිය කොන්ඩය සහ රැවුල සහිත මුහුනින් දුටුවිටය. මම කිසිවිටෙක ඔහු " බොක්කා" යනුවෙන් නොඇමතීමි , මට ඔහු කුමන වේෂයෙන් සිටියත් කිලිටි වුනත් , ලඟට යාමට නොහැකි තරම් අප්‍රසන්න ගඳකින් යුතු වුනත් අපේ පොඩි " සමිත මල්ලී" විය.

 

එක් දිනක්  දුම් රිය පොලේ පඩිපෙල මුදුනේ මා එනතෙක් බලා සිටි සමිත , බොහෝ දුක්මුසු ස්වරයෙන් මා අමතා,

" තිසුලි අක්කේ , දැන් අපේ අක්කට බබාලා එහෙමත් ඇති නේ , අක්කට බැරිද මට අපේ අක්කට කෝල් එකක් අරන් දෙන්න , මට ආසයි අපේ අක්කවයි , එයාගෙ බබාලාවයි  බලන්න' ය් කීය.

 

" හා සමිත මල්ලී , මම කතා කාල බලන්නම්කෝ" කී මම ඔහුට සේමිනි අක්කාගේ දුරකතන අංකය මා සතු බව නොකීවේ , මෙම ඉල්ලීමට ඇගේ ප්‍රතිචාරය කෙසේ වේදැයි  නොදන්න බැවිනි

 

මා ඇය පසුව ඇමතූවිට සේමිනි අක්කා කීවේ " අපිට සමිත  කියලා මල්ලි කෙනෙක් හිටියේ නෑ කියලයි අපි හිත හදං ඉන්නෙ නංගි , මගේ ලමයි එයා ගැන දැනගන්න ඕන නෑ"

 

සමිත මගෙන් ඉල්ලූ එම එකම  ඉල්ලීම ඉටු කල නොහැකිවූ නිසා මම ඔහු දුටුවිට ඉක්මනින්  කෑම පාර්සලය දී නික්ම ගියෙමි. මේ අතර මගේ විවාහයේ වැඩකටයුතු නිසා මට ඔහු මගහැරුනා තරමි. කාලයේ මා දුටුවිට සමිත,

" අක්කේ ඔයාව දැක්කම දෙයියො බුදුන් දැක්කා වගේ " කිය අහිංසකව සිනාසෙයි.

 

" හා හා , ඔන්න මට බටර් ගෑවට සල්ලි නම් දෙන්නේ නෑ , කන්න ඕන තරම් අරං දෙන්නම්" එවිට මම කියමි.

ඔහුගේ මුහුන පුරා සැරව ගලන ගෙඩිය . කලු පැහැ තුවාල කැලල්ය. නිරතුරුව අත්පා කසයි , ඇස් ඇරීමට නොහැකි තරම් වලින් කබ, කඳුලු ගලයි .

"අක්කේ මට කෑම කන්න බෑ , දිව ඉදිමිලා , මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න"

 

මම වහා ඔහුට තැඹිලිත් , කෙසෙල් ගෙඩිත් අරන් දුන්නේ මගේ සුපුරුදු දුම් රිය පවා වරද්දා ගනිමිනි.

 

සියල්ල සිදුවීමට ගත්වුනේ සති දෙකක් වැනි කාලයකි. ඔහුගේ අඩුව මුලින්ම දැනුනේ ඔහුගෙන් කුලී වැඩ ගත් අසල්වැසි නිවැසියන්ටය. මමද දුම් රිය පඩිපෙලේ ඔහු නොදුටීමි . විපරම් කල බැලුවද ඔහු නොදිටීමි.

 

" ඔය කොහෙට හරි මුල්ලකට වෙලා ඇති මිස්" යනුවෙන් රිය පොලේ මිනිසුන් පැවසූහ.

 

ආරංචිය ලැබී තිබුනේ පසන් අයියාටය , කලුබෝවිල රෝහලේ සිටි ඔහුගේ කනිශ්ඨ වෛද්‍ය වරයෙක්ගෙනි.

 

" සර් , අර සමිත සර්ගෙ මොරටුවේ මහ ගෙවල් කිට්ටුව නේද ? අපි එක්ක කොලෙජ් එකේ එකටනේ හිටියේ මිනිහා , මාර වැඩකාරයා සර් මිනිහා ඉස්කෝලෙ කාලෙ , අපිට හැරෙන්නත් බෑ මිනිහ එක්ක , එයා පලවෙනියා වෙද්දි පංතියේ මම විසිවෙනියා විතර"

 

" ඔව් ඔව් දිනෙත් , මිනිහව ඔයාට හම්බ වුනාද, මිනිහා ආගිය අතක් නෑ කියලා අපේ නංගිත් කිව්වා"

 

"එකනේ සර් , මේ යකාව කොහොම අඳුරන්නද , මමත් ඇඳිරුවේ නමින් , අනේ සර් මම මේ කියන්න කතා කලේ මම අද උදේ වොර්ඩ් එකට ආවම දන්නේ ,.. මිනිහා ඊයේ රෑ නැතිවෙලා , බොඩි එක නගර සභාවෙන් මම වොර්ඩ් එකට එන්න ටිකකට කලින් අරං ගිහින්"

පසන් අයියා එවෙලේම සියලු වැඩ පසෙක ලා දෙහිවල නගර සභාවෙන් මේ ගැන සොයා බැලුවත් , වනවිටද අපේ සමිත මල්ලී , කාත් කවුරුත් නැති ,හඳුනා නොගත් සිරුරක් ලෙස මිහිදන්වී තිබුනි.

 

දුකෙන්, කම්පනයෙන් මිදීමට අපට සෑහෙන කලක් ගතවිය . ඔහුට පලිගැසූ සුලාරි නැන්දා පවා ඔහු වෙනුවෙන් දුක් වූවාය. මට ඔහු ගැන තව හොයලා බලන්න තිබුනා යන ස්වයං චෝදනාවෙන් මිදීමට මට අදටත් නොහැකි අතර , මගේ අයියා පසන් මටත් වඩා ගැන සිතා දුක් වන බව මම දනිමි. අකාලයේ මියගිය ඔහු වෙනුවෙන් කල හැකිවූ එකම දෙය වූයේ බනක්, දානයක් දී පින් ඔහුට අනුමෝදන් කිරීමයි. අවස්ථාවට සූම් තාක්ශණය ඔස්සේ සහභාගී වන ලෙසට අපි කුසුමා නැන්දාටද , ප්‍රමිතටද , සේමිනි අක්කාටද ආරාධනා කලද ඔවුන් එය නොසලකා හැර තිබුනි.

 

"දොස්තරෙකු"මතු නොව එහි විශේෂඥයෙක් වීමට තරම් නිසැඟ හැකියාවක් තිබූ අහිංසක දරුවකු "කොන්දොස්තරවරයකු " වීමටත් , අනතුරුව  බේබද්දෙකු , කුඩුකාරයෙකු, හොරෙක් වී , නන්නාදුනන්නෙකු සේ මැරී වැලලෙන්නටත් කරුණු යෙදුනේ කාගේ වරදින්ද ? ඔහුගේද , කුසුමා නැන්දාගේද? මත් කුඩු ගෙන්වන්නන්ගේද ? බෙදාහරින්නන්ගේද? නැත්තම් ඔබත් , මාත් ඇතුලු මුලු මහත් සමාජ ක්‍රමයේමද ?

තීරණය මම ඔබට භාර කරමි.

 

 

නිලූ සේනාධීර

06.04.24

 පින්තූරය අන්තර්ජාලයෙනි


Comments

  1. පේන විදිහට අම්මා තමයි වල කපල තියෙන්නෙ. ඒත් බොක්කගෙත් වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. ස්තුති , හැමදාමත් දෙන දහිරියට

      Delete
  2. සෑහෙන දුක කතන්දරයක් . එයට කල්පනා කරන්න තිබුනා. ඒ වුනාට

    ReplyDelete

Post a Comment

Popular Posts