නැවතත් පිත්තල හංදියේ සිට ලියමි.


මගේ වෘත්තීය ජීවිතයේ ප්‍රථම රැකියාව වූ "පර්ප්ල් ඔර්කිඩ්" ගැන කියවා , තව දුරටත් ලියන්නට මා දිරිමත් කල ඔබ සැමට ස්තුතියි.

මින් පෙර කතාංගයේ මට පර්ප්ල් ඔර්කිඩ් ගැන තවත් දුරට යමක් ලියන්නට තිබුනා යැයි මට සිතුන නිසා  , මේ පලමු කතාංගයේ දිගුවක් ලෙස මෙය ලියමි.

 

එක් දාස් නමසිය අනූ අටවන අවුරුද්දේ ,මම මගේ දුව ලැබී  එවකට කල රැකියාවෙන් ඉවත්වී අවුරුද්දක පමන ගෙදර රැඳී සිටි කාලයේ  දවසක එතුමිය ඉතාම කරදරයට පත් කටහඬකින් මට කතාකොට , සප්පුවේ එවකට සිටි කලමණකාරිය මුදල් වංචාකිරීම හේතුවෙන් පන්නා දැමූ බවත් , ඉන් පසුදා සිට නැවත සාප්පුව කෙටි කාලයකට හෝ භාරගෙන එහි පරිපාලන කටයුතු නැවතත් නගා සිටවිය හැකිදැයි අසා සිටියා . මට පහසු වේලාවක පැමිනීමත් , මට අවශ්‍ය වේලාවට සාප්පුවෙන් පිටවීමත් කල හැකි බව පැවසූවා, ඉතා හොඳ වැටුපකුත් සමග.

නිසා මම මාස හයක වැනි කාලයක් නැවත පර්පල් ඔර්කිඩ් හි වැඩ කලාඅවුරුදු කීපයකට පෙර මා වැනිම දහනම වන වියේ වූ තරුනියන් දෙදෙනෙක් සාප්පුවේ වැඩ කටයුතු කිරීමට කාලයේ මම පුහුනු කලා. මා දන්නා පරිදි මේ තරුනියන් දෙදෙනාද පසු කාලීනව සාප්පුව ඉතා හොඳින් පවත්වා ගෙන ගියා.

 

එවකට විසිපස් වන වියේ පසු වූ , ලාබාල මවක් වූ මම දරුවා නිවසේ දමා ඒම ගැන ඉතාම පශ්චත්තාපයෙන් පසුවුනා මතකයි. ඇගේ අවසරය මත මම දවසට දහ පාලොස් පාරක් ගෙදරට කාර්‍යාල දුරකතනයෙන් කතා කොට දුවගේ විස්තර අම්මගෙන් ඇසීම කලා. දුව හරියට නොකෑවා යයි කී දවසට මම මුලු දවසම ඉතා කනස්සල්ලෙන් ගත කරනු දකින " බත් නොකෑවත් බබා චොකලට් කෑල්ලක් කෑවත් ඇති නිල්මිණි , ඔයා දුක් වෙන්න එපා " කියා මා සනසා , එතැනින් නොනැවතී කාරයේ යතුරත් ගෙන සාප්පුවෙන් පිටවී ගොස් , නැවත එන්නේ ලඟම පිහිටි කර්ගිල්ස් සාප්පුවෙන් මගේ දුවට  ලොකූ චොකලට් පෙත්තකුත් , මම එවැනි දවසට හිතේ දුකට දවල් කෑම නොගන්නා බව දන්න නිසා,ස්ටේපල් පාරේ පිහිටි එතුමියගේ පවුලට අයිති,(එවකට තිබූ එම්පයර් සිනමා ශාලාව අසල ) බේක්ලන්ඩ් බේකරියෙන් උනුම උනු මාලු පානුත් , රසම රස ඉක්ලෙයාසුත් උස්සා ගෙනය.

 

මාස කීපයකට පසුව මම නැවත්ත පර්පල් ඔර්කිඩ් වෙතින් ඉවත්වී  නැවත මගේ පුරුදු ක්ශෙත්‍රයේ රැකියාවකට ගියා . පිලිබඳ වෙනත් කතාංගයකින් එහි සිදුවූ  ඉතාමත් විචිත්‍ර , රසබර තොරතුරු සමගින් ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙමි.

 

මම පර්ප්ල් ඔර්කිඩ් වලින් ඉවත් වූ පසුවත්, මාත් ගුණසේකර නෝනාත් අතර ඉතා සුහද සබැඳියාවක් තිබුනා . ඉන් එවත්වී වසර තිස් එකක් වූ පසුගිය වසර තෙක් මම ගුණසේකර නෝනාගේ සෑම උපන් දිනකටම ලොව කොයි ඉමේ සිට හෝ දුරකතනයෙන් කතා කොට එතුමියට සුභ පැතුවා. මගේ දුරකතන ඇමතුම දවසේ කොයි වේලෙක එන බව දැන සිටියා , එය බලාපොරොත්තුවෙන් පසුවුනා. යම් හෙයකින් මාගේ ඇමතුම පරක්කුවී ලැබුන දිනක , " අද මොකද පරක්කු වුනේ මට කතා කරන්න , යනුවෙන් පිලිබඳ චෝදනා කලා.

 

ඊට අමතරව මම එතුමියට ඉඳහිට දුරකතනයෙන් කතාත් කලා . හැමවිට එතුමිය  මට "තුන් පිහිටයි" යනුවෙන් ආශිර්වාද කලා. මට කිසිවෙකු " තෙරුවන් සරනයි " කියනු හැර " තුන් පිහිටයි" යනුවෙන් ආසිරි පතා නෑ. එතුමිය මට බොහෝ සේ ආදර කරුනාව දැක්වූවා , සෑම විටම මා පිලිබඳ තුලවූ ආදරය මට කීවේ , ඇගේ පර්ප්ල් ඔර්කිඩ්ස් අතරින් මම ඈට ඉතා විශේෂ වූ බව සඳහන් කරමින්. " ඔයා වගේ හොඳ දරුවෙක්ට කවදාවත් වරදින්නේ නෑ " එතුමිය එසේ නිතරම කීවා. ඇය මෙන්ම මමත් විවිධ කෑම වර්ග අත් හදා බලනු කැමති බව දන්න එතුමිය , මට ඇගේ පවුලට පරම්පරා ගනනක් තිස්සේ අයත්ව තිබුන පැරනි කෑම වට්ටෝරු දුන්නෙ " ඔයා මගේ දුවක් වගේ නිසයි මේව දෙන්නේ , පිට කාටවත්ම මේ වට්ටෝරු දෙන්න එපා" යැයි විශේෂයෙන්ම සඳහන් කරමිනි.

 

 

ගුණසේකර නෝනාත් , මගේ මවත් සම වයස් වල අයය. නමුත් පෙනුමෙන් ,සිතුවිලි වලින් ඔවුන් අහසට පොලව මෙන් දුරස් වූහ .මගේ අම්මා සන්සුන්ව, නිවීහැනේ පහතට ගලා යන මහා ගංගාවක් නම් ගුණසේකර නෝනා , සැලෙන , ලෙලෙන දිය රැලි වලින් යුතු මහ මුහුදට සමය. මගේ අම්මා වැඩි විච්චූරන නැති , ඉතා සරල ඇවතුම් ,පැවතුම් වලින් යුතුය,නමුත්  ගුණසේකර නෝනා  ඉතා අලන්කාර වස්ත්‍රාභරනයෙන් සැරසී , සුන්දර ලෙස වර්න ගැන්වූ වතින් යුතුව නිරතුරුව පෙනී සිටියාය. පෙනුමෙන් ,සිතුවිල්ලෙන් කෙසේ වෙනස් වුනත් මේ දෙදෙනාම ඔවුන්ගේ වෙනස් වූ ලෝකවල ඉතා අභිමානවත්ව කැපී පෙනුන චරිතය . දෙදෙනාම ඉතා ආදරනීය මව්වරුන් වූහ.මගේ අම්මා මට ආදරය කල බව නොකිවමනා වුනත් , ගුණසේකර නෝනාද මට ඇගේ දුවකුට මෙන් සෙනෙහස පෑවාය.

 

පැරනි මතකයන් පිරි ලිපිගොනුවක තිබී , මට මේ මෑතකදී හමුවුනා එතුමිය එක්දාස් නමසිය අනූ දෙකෙදි මම පර්පල් ඔර්කිඩ් වෙතින් අස්වීමේදී මට ලබා දුන් චරිත සහතිකය , එහි කොටසක් සිංහලට නැගුවොත් ඉන් කියවෙන්නේ  " නිල්මිණි වැදගත් පවුලකින් පැවත එන , ඉතා ප්‍රසන්න ගති සිරිතෙන් , සැමවිටම පියකරු සිනාවක් රැඳි මුහුනෙන් යුතු තරුනියකි. අවංකත්වය සහ කරන කාර්යයට දෙන කැපවීම ඇගේ විශේෂ චරිතාංග වේ. කිසිඳු පැකිලීමකින් තොරව මම ඇය, ඇගේ සේවය අවශ්‍ය ඕනෑම සේවාදායකයකුට රෙකමදාරු කරමි.

 

පසුකාලීනව මා සේවය කල වෙනත් කාර්‍යාල වලින් මා ඇති තරම් චරිත සහතික ලබා තිබුනත් , මට ගුණසේකර නෝනාගෙන් ලබූ මේ ඇගැයීම වඩාත් වැදගත් වන්නේ , එතුමිය මෙසේ ඇගේ හදවතෙන් උපන් මා පිලිබඳවූ පහන් බව මෙසේ ඉතා අව්‍යාජව සඳහන් කර ඇති නිසාය.

නිරන්තරයෙන් මා හා දුරකතනයෙන්ද , මුහුනු පොතින්ද සම්බන්දවී සිටි එතුමිය , එක්වරම නිහඬ වූවාය , මට කිසිම විදිහකින් ඇගේ තොරතුරු දැන ගැනීමට නොහැකි වූ නිසා , එතුමියගේ ආදර දියනිය ඇමතූ විට දැනගත්තේ අසනීපයෙන් පසුවන එතුමිය කිසිවකු සමග කතාවට සූදනම් නැති බවය. විශේෂයෙන් මට පවා කිසිවක් නොකියන ලෙසද එතුමිය පවසා තිබුනාලු . ඉන් පසු මා එතුමියගේ දියනිය හරහා තොරතුරු දැනගත්තත් නැවත එතුමිය මට කතා නොකලාය. පසු ගිය අවුරුද්දේ එතුමියගේ උපන්දිනයදා සුපුරුදු ලෙස දුරකතනයෙන් ඈට සුබපැතීමට කල උත්සාහයද නිරර්ථක විය . නැත එතුමිය මට පිලිතුරු නොදුන්නීය.

 

මා පසුගිය වසරේ කීප වරක් ලංකාවට පැමිනියෙමි මගේ අම්මා බැලීම පිනිස පෙබරවාරියෙත් , මගේ අම්මා තදබල ලෙස අසනීප වූ බැවින් ජූලියෙදිත්ය . ජූලියේ මගේ අම්මාගේ වියෝවද සිදු විය. මට අම්මාගේ මරණය පිලිබඳව ගුණසේකර නෝනාට දැනුම් දීමට හොඳටම උවමනා වුවත් , අපේක්ශා කල ඇගේ පෞද්ගලිකත්ව සුරකිනු පිනිස එසේ නොකලෙමි.

 

නැවත මම ලංකාවට පැමිනි මෙම වසරේ පෙබරවාරි දිනක , මගේ මුහුනු පොතේ  මා ඉතා අහම්බයෙන් දුටු එක්තරා දැන්වීමක් මා නිරුත්තර කරවීය. එම දැන්වීම ගුණසේකර නෝනාගෙ මුහුනු පොතේ එතුමියගේ ආදර දියනිවරුන් පලකල එතුමියගේ මරන දැන්වීමයි.

මම ඇගේ දේහය තබා තිබූ බොරැල්ලේ මල් ශාලාවට ගියේ අපි විසින් කල්තබා සැලසුම් කල විනෝද ගමනක් පසුවට කල් තබමිනි. උදෑසන මා එතුමිය බැලීමට  යනවිට දේහය තබා තිබූ ශාලාවේ කිසිවකු නොවීය . මම අසලට ගොස් " ඔන්න මැඩම් , මම ඔබ බලන්න ආවා " යනුවෙන් කීමි , එතුමියට එය ඇසුන බව මට විශ්වාසය. එතුමියට පින් පමුනුවා , සසර ගමන කෙටි වේවායි පැතුවෙමි . මගේ අම්මා වියෝවූ දින මෙන්ම මගේ දෑසින් වැටුන කඳුලු දැකීමට කිසිවකු ලඟ නැති බැවින් , මම නිදහසේ මගේ මවත් , මවක් වැනිවූ ගුණසේකර නෝනාත් දෙදෙනාම සිහිකොට තනිව හැඬුවෙමි.

 

පසුගිය දිනක ගුණසේකර නෝනාගෙ ආදර ලොකු දියනිය මට එවූ පනිවිඩයක " හරිම අහම්බයක්නෙ නිල්මිණි අම්මාගේ මරනයට සහභාගී වීමට ඔබ ලංකාවේ සිටීම " යනුවෙන් ලියා තිබුනාය . මම එයට පිලිතුරු ලෙස " ඒක අහම්බයක් නෙමෙයි , දෛවෝපගතලෙස එතුමියගේ අවසානට ගමනට සුබ පැතීමට  මට නියම වී තිබුනා " යනුවෙන් ලීවෙමි.

 

නිලූ සේනාධීර

31.03.24

පින්තූරය අන්තර්ජාලයෙනි


Comments

  1. මගේ මතකයේ හැටියට හිටපු රූරැජිනක් වූ ඕකිඩ් මල් වගාව කල ගුණසේකර වගේ නමක් තිබ්බ නෝන කෙනෙක්, මුල්ලේරියා පැත්තෙ හිටියා.

    පරම්පරා ගනනක් තිස්සේ අයත්ව තිබුන පැරනි වට්ටෝරු වැලලිලා යන එක නං අනේ මන්දා?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. මේ කතාව පද්මිණි ගුණසේකර මහත්මිය ගැන. ඇගේ නර්සරිය තිබුනේ කඩවත පැත්තේ.
      වට්ටෝරු ඉතින් නැතිවෙලාම යයි . එහෙම නැත්තම් එතුමියගේ දුවලා ඒවයින් ප්‍රොයෝජන ගනී. අපි එසේ වෙවා'යි පතමු.

      Delete
  2. "ඉතා ප්‍රසන්න ගති සිරිතෙන් , සැමවිටම පියකරු සිනාවක් රැඳි මුහුනෙන් යුතු තරුනියකි!" ගුණසේකර නෝනාට අත ඇරුණු තවත් විශෙෂණයක් තියෙනවා එය නම් "විශාල හදවතක් ඇති" යන්නය!
    එන අවුරුද්දේ වැඩිපුර තැඹිළි ගෙඩියක් දෙන්නම්!මේ සුන්දර වදන් ගෙත්තම වෙනුවෙන්.
    ඔව් සත්තකින්ම එය ප්‍රාථිහාර්‍යයක්; එතුමියගේ අවසන් මොහොත ඔබට දකින්නට හැකිවීම!

    ReplyDelete
  3. සැමවිටම මා දිරිමත් කරන ඔබට බොහෝම ස්තුතියි අයියා.. ඔබේ ආසිරි මට හරි අගෙයි.

    ReplyDelete

Post a Comment

Popular Posts