පිත්තල හන්දියේ මල් කෙල්ල


අ පො ස උසස් පෙල ඉවර වෙලා බොහෝ දරුවන් ගෙදරට වෙලා රැකියා බලාපොරොත්තුවෙන් හෝ තව දුරටත් ඉගෙන ගැනීමේ ආසාවෙන් ඉන්න සංක්‍රාන්ති කාලයක මම මෙය ලියන්නේ අවුරුදු බොහෝ කාලයකට පෙර මේ අවධියේ මගේ අත්දැකීම බෙදා හදා ගන්න. නොහිතන විදිහට , නොහිතන වෙලාවට අපි ජීවිත ගමන් මගේ ගමන් කරන පොඩි අඩි පාරවල් , කුඩා අතු පාරවල්, , නොදැනුවත්වම අපිව වඩාත් විශාල වූ , වඩාත් පුලුල් වූ මහා මාර්ගයකට සම්බන්ධ කරන සංදිස්තාන වෙන්න පුලුවන්. ඒ නිසා කුඩා පාරවල් වලින් ඔබේ ගමන පටන් ගන්නත් , වරකට පොඩි අඩි තැබීමටත් පැකිලෙන්න එපා. ලොකුවට හිතන්න නමුත් පොඩියෙන් පටන් ගන්න , ඒ දරුවන්ට මගේ අවවාදයයි එයයි.

ඒ එක්දාස් නමසිය අනූ දෙක අවුරුද්ද . උසස් පෙල කරල වැඩි දවසක් නැතත් රැකියාවක අවශ්‍යතාවය යාන්තම් අවුරුදු දහ නමයක් වෙච්ච මට හොඳටම දැනුන. අවුරුදු ගානක් පිටරට හම්බ කරල , " දැන් නම් හම්බ කලා ඇති " කියල හිතල ඒ රැකියාවෙන් අස්වෙලා ලංකාවට ඇවිත් , ඒ හම්බකල සල්ලි සතයක් නෑර පෞද්ගලික සමාගමක අයෝජනය කරල තාත්තට ඉන් ප්‍රතිලාබ ලබන්නට වුනේ යාන්තම් මාස කීපයයි , ඒ සමාගම බංකොලොත්ව ගිනිගනිද්දි.

අවුරුදු ගන්නක් දුක් මහන්සියෙන් හම්බ කල සබ්බ සකල මනාවම එක ක්ෂණයෙන් නැතිවෙද්දි , තරුන වයසෙ එලිපත්තෙ හිටි දරුවන් තුන් දෙනෙක් ගෙ තාත්තෙකුට ඇතිවුන සිතුවිලි මොන වගේ වෙන්න ඇද්ද?. අපේ තාත්තාට පිස්සු නැහැදුනා විතරයි. තාත්තා මේ දුක දරාගත්තෙ මහමෙර වගේ හයියට තාත්තා ලඟින්ම අම්මා උන්නු නිසයි.

අපේ අම්මා කිසිම විටෙක අපි බඩගින්නේ තිබ්බෙ නෑ. වත්තෙ පොල් තිබුන නිසා අපිට සම්බෝලයි බතුයි හරි බඩ පිරෙන්න කන්න තිබුනා. ගෙදර මහා විසාල නිසා තිබුන වැඩිපුර කාමර නවාතැන්කාමර කරලා තිබුනයින් අමතර ආදායමක් ලැබුනා. අපේ අම්මා වත්තෙ පිටියෙ තිබුන පලා කොලයක්වත්, කෙසෙල් , පැපොල් ගෙඩියක්වත් අපතේ නොයවා කටට රසට කිරට , මිරිසට , මැල්ලුමට හැදුව. මුහුදු මාලු , ලුනාව කලපුවේ මාලු බොහොම අඩු මුදලට හෝ බොහෝවිට නොමිලයේම අපිට ඔරු, බෝට්ටු හිමියන් එව්වා. අම්මාගෙ , තාත්තාගෙ සහෝදරයන් හැකි සෑම විටම අපිට උදව් කලා. කෑමෙන් බීමෙන් නොවුනත් මුදල් වල අවශ්‍යතාවය නම් අපිට ඉතාම තදින් දැනුනා. නාස්තිකාර දරුවන් නූනත් අපි ඒ වනතෙක් අගහිඟයක් නැතිව ඇති දැඩි වුන නිසා, අපිට මුදල් අඩුපාඩු සහිත ඒ කාලය ඉතා දුෂ්කර කාලයක් වුනා.

අයියා එතකොට දෙවෙනවර උසස් පෙලට ඉගෙන ගන්නව , මල්ලි සාමාන්‍ය පෙලට . මම හිතුවා ඒ දෙන්නට උගන්වන්නත් , අම්මට හයියක් වෙන්නත් එකම විසඳුම මම රැකියාවක් කිරීමය කියලා, අඩු තරමේ තාත්තට ලංකාවෙන් රැකියාවක් ලැබෙනකංවත්.

වසර තිස් දෙකකට පසුව මේ සංසිද්දි ගැන ආපසු හැරිලා බලන මේ මොහොතෙදිත් මගේ ඇස් වලට කඳුලු පිරෙනවා ,අම්ම කෙනෙක් වාගෙම , දුවෙකුත් තමන්ගෙ පවුලෙ උන් වෙනුවෙන් නොකරන්නෙ මොනවද කියලා.

අම්මාගෙ සහෝදරයන් හත් දෙනාගෙන් එක මල්ලි කෙනෙක් ලුනාවෙ ජීවත් උනේ, ඒ මල්ලිගේ බිරිඳගෙ තාත්තා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන පෞද්ගලික ආයතනයක ගණකාධිකාරවරයෙක් හැටියට රැකියාව කලේ , මුදල් නිසාම නෙමෙයි , නිකං ගෙදරට වෙලා ඉන්න බැරි කමට වගේ. මගේ රැකියා අවශ්‍යතාවය කිව්ව විතරයි මේ සීයා කිව්ව " මම ඔයාව මම සේවය කරන ආයතනයේ අයිතිකාරියට හඳුන්වා දෙන්නම් , ඔන්න හැබයි මට එහෙදි සීයා කියන්න නම් එපා කියල.

ආයතනයේ නම " පර්පල් ඕකිඩ්" , පිත්තල හංදියේ ප්‍රකට මල් සාප්පුව. මේ සාප්පුව විතරක් නෙමේ , මේ ආයතනයෙන් මල් සහ අලංකාර කොල අතු රිකිලි පිට රට යැවීමත් කලා. ආයතනය සතු මේ මල් , අතු රිකිලි වවන අක්කර ගානක මල් වතු තිබුනා.මගේ මේ සීයාගේ අනුග්‍රහයෙන් මේ ආයතනයෙන් මගේ රාජකාරී ජීවිතයේ පලමු සම්මුඛ පරීක්ශනයට මුහුන දෙන්න අවස්තාවක් ලැබුනා. මට මතකයි ,මම මේ සම්මුඛ පරීක්ෂනයට ඇන්දේ මගේ තාත්තගේ මාමාගේ දුවගේ ඇඳුමක් , මොකද ඒ කාලේ මේ වගේ අවස්තාවකට සුදුසු ඇඳුම් එහෙමට කා ලඟවත් වැඩිපුර තිබුනේ නෑ. වාසු නැන්දා ඒ වෙනකොට රැකියාවක් කල නිසා ,ඈ ලඟ මොස්තර සහිත ඇඳුම් වැහි වැහැලා තිබුනා.

ගියාට මොකද මගෙ පපුව "ගිඩි ගිඩි" ගාලා ගැහෙනව. මොකද මම දන්නවා ඔය පරීක්ෂනේ කියන එක වෙන්නෙ ඉංග්‍රිසියෙන් කියලා." පර්පල් ඕකිඩ්" කියන්නේ ඉතින් ඉහල පෙලේ මල් සාප්පුවක්නෙ , ඔය ඒකාලෙ ඩීන්ස් පාරේ තිබ්බ මිනී පෙට්ටි මල් සාප්පු වාගෙත් නෙමෙයි නෙ. එන්නෙ ඔක්කොම ඉංග්‍රිසි කතා කරන උදවියයි , තානාපති කාර්‍යාල වලිනුයි , කොලඹ ඉහල සමාජයේ කියන පෙලේ අයයි කොට. මට මගේ සීයා කිව්වෙ එහෙම.
තාත්තගෙ ආභාෂයෙන් ගෙදරදි ජිම් රීව්ස් ගෙ, එන්ගල්බර්ට් ගෙ සින්දුයි ඇහුවට , ඔය මැඩෝනගෙ, ලයනල් රිචී ගෙ සින්දුවක් දෙකක් මිමිනුවට ,බෙවර්ලි හිල්ස් ,නේබර්ස් රූපවාහිනියෙන් බැලුවට , අපි ගෙදරදි ඉංග්‍රිසි කතා කරන පෙලේ නෙමෙයිනෙ ඉතින්. ඔන්න පාසැල් ගීතය නම් ලාස්සනට ඉංග්‍රිසියෙන් කියන්න පුලුවන් හොඳේ.

ආයතනයේ අයිතිකාරිය හරිම ප්‍රතාපවත් සුන්දර කාන්තාවක් , නම පද්මිනී ගුණසේකර. මා දුටුගමන් ඇය , අගේ ඇස් බැම ඉහලට ඔසවා පුදුමය පලකොට " ඕ!!මොනතරම් ලස්සන කෙල්ලක්ද" කිව්ව, ඔන්න ඒ ටික නම් මට තේරුනා , මමත් " බොහොම ස්තුතී නෝනා මහත්මිය , ඔබත් එසේමැයි" කිව්වා. මේ විදිහට කතාව යනකොට මට තේරුනා " බොලේ මම මේ ලස්සනට ඉංග්‍රිසි නොවැ කතා කරන්නෙ" කියලා. කොහොම හරි පරීක්ෂනය අවසානයේ මට මගේ පලමු රැකියාව ලැබුනා . පඩිය රුපියල් එක්දාස් පන්සීයයි , නිල ඇඳුම් සහ දිනපතා ගැනුම් කරුවන් දෙන ප්‍රසාද දීමනා.

මා සමග බර්ගර් ජාතික කෙල්ලක වූ ක්ලොඩියාත් , මැලේ ජාතික ශේරා ත් වැඩකලා. තව මල් සැකසුම් කිරීමට පිරිස්ද , සැකසූ මල් ඇනවුම් අදාල නිවෙස් හෝ පුද්ගලයින්ට භාරදීමට " ඩිලිවරි කරුවන්" ද හිටියා. උදේ නමයෙ සිට හවස හය දක්වා තොරතෝන්චියක් නැතිව ආයතනය ගනුදෙනු කරුවන් යන එන තැනක් වුනා, දුරකතනයෙනුත් එන ඇනවුම් අප්‍රමානයි. මේ එක මල් සැකසුමක් අපේ මුලු මාසික වැටුපට වඩා මිලෙන් වැඩියි . රෝස එක මලක් රුපියල් එකසිය පනහක් පමන , ඒ අනුව මගේ මුලු මාසයේම වැටුපෙන් මට රෝස මල් දහයක් මිලට ගත හැකි.

අපි තුන්දෙනාට තිබුනෙ සාප්පුවට එන මල් ඇනවුම් භාර ගැනීම , මුදලට සරිලන ලෙසත් , පාටත් , මල් වර්ගත් ගලපා මල් ඉති , රිකිලි මල් කරුවන්ට ලබාදීම , ඒ මල් කරුවන් ඒ මල් වලින් මල්සැකසුම් පිලියෙල කල විට ඒ මල් සැකසුම් ගනුදෙනුකරුවා බලාපොරොත්තු වූ ලෙසටම පරිපූර්න දැයි බලා නියමිත ලිපිනයට ඒවා යැවීම. සමහර ගැනුම් කරුවන් ඒ මල් යවන්නේ නිර්නාමිකව , ඉතින් ඔවුන්ගේ රහස්‍ය බාවය රැකීමත් රාජකාරියේ කොටසක්. සමහරු මල් සමග චොකලට්, තෑගි , ස්වර්නාභරන පවා යවනවා , ඉතින් එහි සුරක්ශිත තාවත් අදාල ලිපිනයට ඒවා ලබුනාදැයි සැකහැර දැනගැනීමත් එහි කොටසක්. මුදල් පාලනය , සේවක පාලනය වගේම , සාප්පුව අලන්කාරව සිත අඳිනා ලෙස නැරඹුම් මැදිරියක් සේ පවත්වා ගෙන යාම , නිරතුරුව සිනාමුසුව, සුවඳවත්ව , ප්‍රියජනක ලෙස පෙනී සිටීමත් ඒ රාජකාරියට අයත් .

ගුණසේකර නෝන පෙර කීවාසේ රූප සුන්දරියක් , ඈ අපිවත් ඈ වැනි රූපසුන්දරියන් කිරීමටදෝ , ලකී ප්ලසා හි " රමනි ප්‍රනාන්දුගේ" රූපලාවන්‍යගාරයට සෑම මසකම ඇගෙ වියදමින් යවා අපෙ කොන්ඩ, නිය , සම සැකසෙව්වා . අපේ නිල ඇඳුම කොටට තදට මෑසූ තද දම් පෑ සායට , ලා දම් පැහැ ඇඟට හිර බ්ලව්සය සමග ඇඳීමට ටයි පටියක් හො බෝ පටියක්. කලු පැහැ උස් පැන්සල් අඩි පාවහන්.

යොවුන් වියේ දොරකඩ උන් අපි තිදෙනාම ඉතාමත් ප්‍රියමනාප ලෙස දිස්වූ බව මට මතකයි . මේ ඉහල සමාජයේ ජීවිත සමග මල් ඉතාමත් තදින් බැඳී තිබුනා , නෑදෑ හිත මිතුරෙකුට කිවිසුමක් ගියත් මල් යවන සිරිතක් ඔවුන් අතර තිබුනේ. එක මල් පොකුරකට දහස් ගනන් කජු කොස් ඇට සේ වැය කරන්නත්, ඉතිරි මුදල් අප වෙත පිරි නමන්ටත් ඔවුන්ට ඇති හැකියාව තිබුනා. මේ ප්‍රසාද දීමනා සමහර දිනක දහස් ගනන් අපිට ලැබුනා , එකිනෙකා අතර සම සේ බෙදා ගත්තත් එක් අයෙකුට රුපියල් පන්සීය ලැබෙන දිනත් තිබුනා , මට ඒ අමතර මුදල් බොහෝ ප්‍රයෝජන උනා මගේ පවුලට උදව් කිරීමට.ඒ රුපියල් පන්සීයක් දැන් රුපියල් පන් දහසකට වඩා අගයෙන් වැඩී .

මේ බොහෝ ගනුදෙනුකරුවන් සාප්පුවේ යාවජීව ගැනුම් කරුවන් , ඔවුන්ට එය තම ගෙදරින් එපිට ගෙයක් වගේම සමීපයි . මල් දෙස බලමින් , සුවඳ බලමින් ඇනවුම් තුන හතර බනවමින් ඔවුන් පැය ගනන් එහි කාලය ගත කලා. සමහර ගැනුම් කරුවන් විශේෂයෙන් මාව හොයාගෙනම ආවා. ඒ වගේම ශේරාවත් , ක්ලෝඩියාවත් හොයන් ආපු ගැනුම් කරුවන් හිටියා. මා සොයන් ආපු අය මගේ පාට ගැන ඇති අවබෝධය ගැනත් , ප්‍රියමනාප කම , මගේ අත් අකුරු ගැන පැහැදුන අය. අපිට මල් සමග යවන පනිවිඩ කාඩ් පත් ලියන්නට වෙන නිසා අත් අකුරු වල හැඩත් මේ රාජකාරියේ වැදගත්.

මට අමතක නොවන එක් අවස්තාවක් තමයි , අපේ එක් නිරන්තර ගැනුම්කාරියක් ඇගේ පුතුගේ මගුල් ගෙදර වෙනුවෙන් අපිට දුන් ඇනවුම්. එහි විශේෂම මතකය තමයි නව යුවල මදු සමය ගත කරන කාමරය මුලුමනින්ම රතු රෝස මලින් සැරසීම , කාමරයේ බිත්ති , වහල පවා රතු රෝස මලින් සැරසිය යුතුව තිබුනා. අපි මේ උත්සවයට දහස් ගනන් මල් අපෙ රටෙන් වගෙම පිට රටිනුත් ගෙනාව. ඒ කාලයෙ ඒ සැරසිලිවලට පමනක් ලක්ශ දහයක් පමන් වැයවුනා.

තවත් එක් විශේෂ අවස්තාවක් තමයි අපෙ ගැනුම් කරුවෙක් ඔහුගෙ අලුත්ම පෙම්වතිට අලුත්ම බී.එම්.ඩබ්ලිව් කාරයක් මුලුමනින්ම රතු රෝස මලින් පුරවා ,රතු රෝස මලින් කාරය මුලුමනින්ම වසා තෑගි දීම , මෙයටත් මල් සිය දහස් ගනනක් වැය වුනා.

"පෙම්වතුන්ගේ දිනය" සැමරීම පටන් ගත් කාලය ඒ. රතු රෝස මලටත් , චොකලට් වලටත් තිබුන ඉල්ලුම උන්මාදයක් වගේ,පෙබරවරි දහතුන සහ දාහතර අපි පුරා පැය හතලිස් අටම වගේ වැඩ කලා, ඒ වගෙමයි නත්තලටත් , අපි දෙසැම්බර් විසිහතර, විසිපහ දින දෙකම නොනවත්වා වැඩ කලා. ලැබුන සමහර ඇනවුම් බාර නොගෙන හරවා යවන්නටත් පවා සිදු වුනා.

මගේ ඉංග්‍රිසිය මේ රාජකාරියට හැමවෙලේම සෑහුනේ නෑ, විශේෂයෙන් තානාපති කාර්‍යාල වල නියෝජිතයන් කතා කල ඉංග්‍රිසි මට තේරුනේම නෑ. සමහර දවසට "මුන් මේ මොනවා කියනවද" මට හිතුනා . මා අසරණ වන බව දැනුන වහාම ශේරා හෝ ක්ලොඩියා මගේ සහායට දිව ආවා. මගේ අකුරුත් ,ව්‍යාකරනත් , අක්ශර වින්‍යාසයත් හොඳ උනාට මගේ කතනයේ ගැටලු මට තිබුනා. මෙහෙම උන දවසට මම දවසම කන්නෙ නෑ . හිතේ දුකට. "අයියෝ මම මොකට මේ රස්සාව කරනවද " හිතමින් මම දුක් වෙනව .

ඒ පොඩි වයසෙදි මම හිතන්නෙ පහර වැදුන මගෙ ආත්ම මානය ගැන , මම ලබන අත්දැකීමේ වටිනාකම ගැන මට එතකොට අවබෝධයක් තිබුනෙම නෑ. එවැනි දවස් වලට මම ගෙදර ගිහින් අඬනවා අම්මට කිය කිය " මට ඔය රස්සාවට යන්න බෑ" නමුත් අම්මගෙ එක බැල්මක් මගේ හිත නිවල ශක්තිමත් කරවනව . ඒ බැල්මෙන් කියනව" ඔයාගෙ රස්සාව අයියගේ මල්ලිගෙ පන්ති ගාස්තු දෙන්නෙ ".

මාස දෙක තුනක් යද්දි මට ඉංග්‍රිසි කජු කන්නා වගේ උනා . සමහර විදෙශිකයෝ එක්ක මම ඇනවුමට අදාල දේ විතරක් නෙමයි , ආ ගිය විස්තර , රට තොට විස්තර පවා කතා කලා.

මම මේ රැකියාවෙන් ලබපු පන්නරය නිමක් නෑ. මගේ කතාවට තිබූ බිය , සබකෝලය නැති වුනා.ආත්ම විශ්වාසය ලැබුන, තැනට සුදුසු විදිහට අඳින්න පලඳින්න , විලාසිතා කරන්න , කතා කරන්න , හැසිරෙන්න යාන්තම් අවුරුදු දහනමයක් වූ මම ඉගෙන ගත්තා. මේ පුහුණුව ඇත්තටම මම මුදල් දී ලබා ගත යුතු වූ එකක් වුවත් , මට මේ අත්දැකීම් සමග ඒ කාලයේ හැටියට හොඳ වැටුපකුත් , අමතර තව මුදලුත් ලැබුනා. මල් අතර මුලු දවසම ගත කිරීමට ලැබීම , මිතුරියන් හා විනෝදයෙන්, ගුණසේකර නෝනාගේ ආදරය විඳිමින් ,ඇය අපිට ගෙන්වන රස කැවිලි , චොක්ලට් කමින් ගත කල එ කාලය ඇත්තටම මතක සමරුවක්.

මම මාස කීපයකින් මේ රැකියාවෙන් ඉවත්වී , වෙනත් ක්ෂෙත්‍රයක රැකියාවකට බැඳුනා . අද වන විට මම ඒ ක්ෂෙත්‍රයේ වසර තිස් දෙකක් ගතකොට තියෙනව. ඒ රැකියාව ලබා ගැනීමටත් මේ රැකියාවෙන් ලැබූ පලපුරුද්ද , ආත්ම විශ්වාසය , ඉංග්‍රිසි භාවිතයේ බුහුටි බව බොහෝ පිටිවහලක් උනා. මේ කාලයේදීම මගේ තත්තාටත් ජිනසේන සමාගමේ රැකියාවක් ලැබුන නිසා අපේ ගෙදර ආර්ථිකය නැවත ඉතා යහපත් උනා.

මම මේ සටහන තබන අද වනවිට මගෙ අම්මත් , තාත්තාත් , ගුණසේකර නෝනාත් , මට මෙ රැකියාව ලබා ගැනීමට උදව් කල මගේ ඥතී සීයාත් , වාසුලා නැන්දාත් ජීවතුන් අතර නෑ. ඒ සියලු දෙනාවම මම ඉතා ආදරයෙන් , ස්තූති පූර්වකව සිහිපත් කරනවා. ඒ වගේම අද වනවිට "පර්පල් ඔර්කිඩ්" ආයතනයත් නෑ, පිත්තල හංදිය මට නැවතත් කවදාවත් එදා වගෙ සුන්දරව මලින් පිරුන පසුබිමක දකින්නට ලැබෙන්නෙත් නෑ.




නිලූ සේනාධීර.
16.03.24
පින්තූරය අන්තර්ජාලයෙනි.

Comments

  1. අතිශයින්ම සුන්දර මතකයක්!
    (මා ළඟ ඇති වචන කෝෂය මදි; එය කියවා දැනුණු හැඟීම පිළිබඳව ලියා තබන්නට!)
    මතක් ඇතිව උඳුවප් මාසයේ හමුවූ විට වැඩිපුර වැළඳ ගැනීමක් ලැබේවි මේ ලිපිය වෙනුවෙන්!
    ලියන්න නොනැවතී ලියන්න!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති අයියේ ඔබෙන් සැමදා ලැබෙන දිරිගැන්වීමට

      Delete
  2. හරිම ලස්සනට ගලපලා ලියලා තියෙනවා... සුද්දන්ගේ ඉංග්‍රීසී අපට තේරෙන්නේ නෑ වගේම තමයි අපි ඉක්මනට කියවන ඉංග්‍රීසී එගෝල්ලන්ට තේරෙන්නෙත් නෑ.... ඕක හරියන්න ඉතින් ඒගොල්ලොත් එක්කම ගැවසෙන්න ඕනේ තමයි...මෙතැනත් වෙලා තියෙන්නෙ ඒක කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති. ඔව් ඔව් මෙහෙ ඔස්ට්‍රේලියන් සුද්දොන්ගේ ඉංග්‍රිසි අල්ලා ගන්නත් ටිකක් කල් ගියා. ඒක අමුතුම උච්චාරන විදිහක් නෙ .

      Delete
  3. ඔබ කියන සේ ආත්ම විශ්වාසය ඇති කරගැනීම ගැන පුහුණුව නම් හරිම වැදගත්. හැකියා තිබුණත් එය නැති වීම නිසා පසුපසට යන ජීවිත අපමණයි. එය අපේ අධ්‍යාපනයේ අඩුවක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති . මම හිතන්නේ අපේ තරුන පරම්පරාව ඉතාම දක්ෂයි අපි ඒ කාලේ හිටියාට වඩා. නමුත් ඔවුන්ගේ ආත්ම විශ්වාසයේ මද කම ඔවුන්ට ඇති විශාල අවස්තා අහුරනව.

      Delete

Post a Comment

Popular Posts