වැලපෙන කත




විනීතා කැඩපතට එබෙන්නී මේ දසවන වරටය. සිහින් උස් පිරිපූන් සිරුරැති ඇය පාටින් තලෙලු පැහැයට වඩා මදක් අඳුරු පාටය. උරහිස තෙක් කෙටිවන සේ කැපු කෙස් වැටිය ඔසරියේ පාටට කැපෙන පාටක කටුවකින් ලිහිලට සිරකර ඇත.

ඇය රුවැති කතකයැයි කීමට නොහැකි මුත් නිසැකයෙන්මපෙනුමැතියන්නෙන් හැඳින්විය හැකිය.
කොතෙක් හැරුනත්, කැරකුනත්, ලංවුනත්, දුරස් වුනත් කැඩපතෙහි ඇඳි ඇගේම රුව කෙරෙහි විනීතාගේ සිතේ නොපහන් බවක් දනවයි.
කැඩපතට ලංව බලන කල අවපැහැ ගැන්ව පෙරට වඩා මදක් දිගට ඇදි දසන් පෙනෙයි. එයිනුත් එකක් බොහෝ සෙයින් දුර්වර්ණය. දසන් විදා හිනැහෙන කල එය ඉතා හොඳින් පෙනේ. සතිපතා කලු පැහැ ගැන්වු මුත් කෙස් වැටියේ අතරින් පතර රිදී පැහැ කෙස් ගසක් දෙකක් පෙනෙනු වැලකිය නොහැක.

"
කොන්ඩෙ දවසට දෙකට ඉදෙනවද මන්දා"යි නොරිස්සුමින් සිතූ කැඩපතට එබීගෙනම ඉන් එකක් අල්ලා ඇද්දාය.

ලා පාටින් වර්ණ ගැන්වු සිහින් දෙතොල් එහි පෙර වු පිරුනු බව දැන් නොපෙන්වයි. දෙතොලෙහි දැන් ඇති වියැලි ඉරිතැලුන ගතිය වර්ණ ගන්වා ඔප්නැගුවත් සැඟවිය හැකි නොවේ

"හ්ම් . . මම වයසටත් වඩා වයස පාටයි" ඇය සිතුවේ අසතුටිනි.

සෑම සතියකම තම රූපය ඔප්නැංවීමට කරන්නාවු නෙක සත්කාර , ආලේපන , විලවුන් වලට දරන්නාවූ වියදම ඇයගේ පඩිපතට දැරිය නොහැකි තරම් එකක් වුවත් ඉන් ලැබී ඇති ප්‍රතිලාභය අල්ප බව ඇය දැන් දැන් සෑම දිනකම මෙසේ දුක්මුසුව ප්‍රත්‍යක්ෂ කරගනිමින් සිටීන්නී, එසේ කරනු හැර වෙනත් විකල්පයක්ද නොදක්නීය.

හතලිස් දෙවැරිදි විනීතා  තවමත් තනිකඩය. දරුවන් පස් දෙනෙකු ගෙන්‍ යුතු පවුලේ තෙවැන්නියය. ඇය හැර සියල්ලන් විවාහකය. සබරගමු පලාතේ වැදගත් පවුලක ඉපදී හැදී වැඩුන විනිතා ගේ නමට පෙර පසු පෙලපත් නාමයන් රැසකි. තම පවුලට තම රැකියාවට රෑපයට සහ උගත්කමට කැපෙන කෙනෙකු සමග මිස අවශේෂ කෙනෙකු සමග විවාහයක් නොපතයි.

ඇගේම නැගනිය සහ අක්කන්ඩිය විවාහ වි සතුටින් වෙසෙන්නේ කුලයෙන් ඔවුන්ට නෙපෑහෙන්නෙන් සමග බව ඇගේ මතයයි. ඇයට අනුව කුලය සාර්ථක විවාහයකට අත්‍යාවශ්‍ය සාධකයක.

"කරා/වන්, හකු/රන් මොන තරම් පොහොසත්, උගත් වුනත් මට නම් එපා" යි තම මවගේත් සොහොයුරියන්ගේත් මූණටම ඇය කියා දැම්මේ ගිය සතියේ කපු හාමිනේ සම්මුඛ වුන වෙලාවේය.
ඉන් තම දෙසොයුරියන් මුහුණු කලුව ඇදව යනු දැක විනිතාගේ දෑස් සතුටිනි දිලිසිනි.
"
මේ සුමානෙ අග එන එක හරියයි. . විදුලි ඉංජිනේරුවෙක් නෙ" ඇය සතුටින් සිහි කලාය.

අද විනිතාට විශේෂ දවසකි. ඇත්තටම ඇයට නොවේ ඇයගේ රැකියාස්ථානයට විශේෂ දවසකිනව කලමණාකරණය යටතේ නවක කාර්යාල සේවකයන් තේරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ අදය.

විනිතා සේවය කරනුයේ දිවයිනේ ප්‍රකට ඇඟලුම් නිෂ්පාදන ආයතනයක කාර්යාලයේ ගිණුම් අංශයේය. ඇයට ගිණුම් කටයුතු පිලිබඳ ත්‍රිතියික අධ්‍යාපනයක් නැතත් අවුරුදු ගනනක පලපුරුද්ද ඇය අංශයේ වෘත්තිකයකු කර තිබේ. ඇය සිතනා පරිදි ඇය කාර්යාලයේ ඉතා වැදගත් සේවකයෙකි. නොමැතිව එම කාර්යාලය පවත්වා යනු හැකි නොවේ.

නේවාසිකව උන් කාමරයේ දොර වසා එලියට බට විනිතා උදක් පැමිනෙන තෙක් විනාඩි පහලවක් තිස්සේ නවතා උන් කාර්යාල රථයට නැගුනාය.

සම්මුඛ පරික්ෂන පටන් ගැනුනි. නෙක වයස්‍වල ස්ත්‍රි පුරුෂයන් ගෙන් කාර්යාලය පිරුනි. අතර විනිතා තම දෙපාර්තමේන්තුවට සුදුස්සන් දෑසින් විමසුවාය.
එතරම් පෙනුම නොමැති , තරුන විය ඉක්මවූ, නොසැලකිලිමත් ලෙස ඇඳ පැලඳ සිටියන් ඇගේ පලමු තේරීම විය.

"අපිට කන්ට්‍රෝල් කරගන්න පුලුවන් තාලෙ අය ගත්තොත් හොඳයි නේද ? බොස්ට තේරනවනෙ අපිට වඩා” කැරකෙන පුටුවෙන් අනික් පස හැරුනු විනිතා ඇගේ කලමනාකාරිනිය වු රමනිට පැවසුවාය.

සමඟම අලුතින් කාර්යාලයට ඇතුල් වු තරුනිය දුටු රමනිත් විනිතාත් නිසඟයෙන් එකිනෙකා දෙස බැලූහ. මෙතෙක් සම්මුඛ පරික්ෂණයට පැමිනි සියල්ලන්ටම වඩා වෙනස් පෙනුමෙන් යුතු වු මෙ තරුනිය දෙස කාර්‍යාලයේ සිටි සියල්ලන්ම විමසිලිමත් වෙනු දක්නට ලැබුනි.

කෙටියට කැපු "නොයෙලින් හොන්ටර් " විලාසිතාවේ කොන්ඩයද, සිහින් සිරුර සැරසු නවීන පන්නයේ අලු පැහැකෙටි සායට ලා රෝස මුද්‍රිත අත් දිගු බ්ලව්සයද, කෙටි සායෙන් කැපී පෙනෙන දිලිසෙන දිගු දෙපාද, අවස්ථානුකූල ලෙස ඔප්නැංවූ මුහුනද, ලා රෝස පාටින් වර්ණ ගැන්වු දෙතොලද , වටිනාකම මැනවින් පෙන්වන ඇඳුමටද ගැලපෙන පාටින් යුතු උස් අඩි පාවහන්ද අත් බෑගයද , රන්කමින් කල සිහින් ගෙල පලඳනා අත් පලඳනාවෙන්ද ඇය ඇත්තටම සාරියෙන් ඔසරියෙන් සැරසුනු අනිකුත් අයදුම්කාරියන් අතර නිසර්ගයෙන්ම කැපී පෙනුනාය.

තමා වෙත හැරී ඇති විමසුම් සහගත නෙතින් පීඩාවට පත් නොවුන සේ ඇය එක එල්ලේ නොපැකිලව රමණී වෙත ගමන් කලායඉතා පැහැදිලි ව්‍යක්ත ඉංග්‍රීසි බසින් රමණී ඇමතු ඇය , පැමිනියේ සම්මුඛ පරික්ෂනය සඳහා බවත් ඇගේ හමුව තව ටික වෙලාවකට පසුව යෙදෙන බවත් ආචාරශීලීව පැවසුවාය.

රමණීද ඇයට අසුනක් පනවා වෙනත් අයට නොකල ලෙසින් ඇගේ ආගිය තොරතුරු විමසුවාය .

අනුව ඇගේ නම නිරාෂා පෙරේරා බවත් , දහ නව හැවිරිදි බවත්, පදිංචිය රත්මලාන අවට බවත් , උසස් පෙල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අතර ගිණුම් අංශයේ පාඨමාලාවක් හදාරා ඇති මුත් රැකියාවක් කර නොමැති බවත් විනීතාත් රමණීත් දැනගත්හ.

නිරාෂා දුටු පමනින් ගැන විනිතාගේ සිතේ ඇතිවුනේ තදබල අප්‍රසාදයකි. මන්දැයි තම සිතෙන් නොවිමසූ මුත් ඇගේ තරුණ පෙනුම , ශෝභනත්වය , පෞරුෂය සහ භාෂා ප්‍රාගුනත්වය අප්‍රසාදයට හේතු කාරක වු බව ඇගේ සිත ඈට ඇඟවූයේ;

" මොන කෝලමක්ද , අපි ගැලපෙන්නේ නෑ වගේ විසුරු කොඩියක් රමණී, මෙතනට හොඳ පිලිවෙලට ඇඳ පැලඳපු මැදි වයසේ කෙනෙක් . . නේද ? " යනුවෙන් රමණීට කල රහස් කෙඳිරීමෙනි.

රමණී පිටරට කාර්යලයන්හී වැඩ කර පලපුරුදු ඇත්තී ඉංගිරිසිය හොඳින් හැසිරුවාය. එනිසාම නිරාෂාගේ පෙනුමත් කතාවත් ප්‍රියකලාය. නමුත් විනිතාගේ ගති සොබාවන් හොඳින් දන්නී වචනෙන් නොව මද සිනාවකින් පමනක් ප්‍රතිචාර දැක්වුවාය.

සම්මුඛ පරික්ෂණය අවසන් වන තෙක් විනිතා සිටියේ තදබල නොඉවසිල්ලකිනි.
"
කෙල්ල නැතිව ඕනම එකෙක් කමක් නෑ"
ඇය සිතුවේ වරක් දෙවරක් නොවේ.

ඇගේ පැතුම ඉටු කරමින් ගනකාධිකාරවරයා සම්මුඛ පරික්ෂණය කෙරුනු කාමරයේ දොරින් මෙදෙසට පැමිනියේ සාරියෙන් සැරසුනු තරුනියන් දෙදෙනෙකු සමඟිනි.

"
රමණි මෙන්න මේ දෙන්න ඔයාගෙ ටීම් එකට අපි තේරුවා. පලපුරුද්ද ඇති අය . මේ ප්‍රසාදි යනුවෙන් පෙනුමැති තරුනියකුත් මේ වත්සලා යනුවෙන් තව තරුනියකුත් දැක්වුයේය.

"
මේ දෙන්නා හෙට ඉඳන් වැඩ පටන් ගනී. අවශ්‍ය ලියකියවිලි සුදානම් කරල මගේ අනුමැතියට එවන්න යැයි ඉංග්‍රීසියෙන් කියමින් ප්‍රසාදිගෙත් වත්සලාගෙත් ජීව දත්ත සහ එකඟවු වැටුප් සහ කොන්දේසි රමණී අතට පත් කලේය.

විනිතාගේ සතුට නිම් නැත.

 "හොඳ වැඩේ , කොටට ඇන්දට චීස් බීස් ගගා ඉංග්‍රීසි කතා කරාට මේ අපි කරන වැඩ හැමෝටම බෑ . සෝබනේ නෙමෙයි අපේ බොස් බලන්නෙ වැඩ වැඩ "

මෙම ඇඟලුම් කම්හල රත්මලානේ පිහිටියකි. බෙලි සහ අඹ ගසින් සමන්විත අති විශාල බිමක වු විශාල කර්මාන්තශාලාවකි. කාර්යාලයද එහිම පිහිටියේය. සේවකයන් දහස් ගනනක් සේවය කරන මෙහි අයිතිකරුවන් පිටරැටියන්ය. ලොව නන්දෙසින් ගලා ඇනවුම් නිසා කලමනාකාරීත්වය එහි විවිධ අංශ අලුතින් ඇරඹීමටත් දැනටමත් ක්‍රියාකාරී අංශ වලට අලුතින් සේවකයන් බඳවා ගැනීමටත් කටයුතු කරමින් සිටියි.

විනීතා නැවතත් සම්මුඛ් පරීක්ශනය පැවැත්වෙන කාමරයේ දොර දෙස බැලුවාය..

 මම හිතන්නෙ අර කෙල්ලව එතැනින්ම එලියට යවන්නැති , ඉංග්‍රිසි ටිකක් පුලුවන් උනාට මොනම පලපුරුද්දක් වත් නෑනෙ.

විනීතා හිත යටින් සැනසුම් සුසුමන් හෙලුවාය.

" මේ කෙල්ලට මක් වුනාද ? විනිතා රමණී ගෙන් විමසුවෙත් , සුදු ජාතික ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුමා නිරාෂා හා සිනාමුසුව කතා කරමින් සම්මුඛ පරික්ෂණය පැවැත්වූ කාමරයෙන් පිටතට පැමිනියෙත් එකවරමය.

වහා අසුනින් නැගිට අධ්‍යක්ෂවරයාට ආචාර කල රමණී ඇමතූ එතුමා,

රමණී මේ නිරාෂා අපි අපේ අලුතින් අරඹන වෙළඳ සම්බන්ධීකරණ අංශයට බඳවාගන්නව. ඇය අපේ විදෙස්  ගැණුම් කරුවන් සහ සැපයුම් කරුවන් සමඟ කෙලින්ම වැඩ කරමින් අවශ්‍ය නියෝග සහ තොරතුරු සරෝජා දේවි. නිරාෂාව තනතුරට පුහුණු කිරීම ඇගේ කලමනාකරු හැටියට රාජේශ් කරාවි.

රමණී ආචාරශීලීව අධ්‍යක්ෂවරයා කියන්න අසා සිටියත් විනිතා එය අසා සිටියේ සිහිනෙන් මෙනිඉංග්‍රීසියෙන් කෙරුන කතාබහ ඇයට යම් තාක් දුරට තේරුනත් ඇගේ හදවතට දැනුනේ රොඩ්ඩක් සේ විසි කර දැමීමට තැත් කල යමක් හදිසියේ තම ඇසේ වැද තැවුල් දෙන විටක මෙනි.

වහා රමණී අත වු ජීව දත්ත පත ඩැහැගත් විනිතා තම අවධානය යොමු කලේ රතු පාටින් එහි සඳහන් කල නිරාෂාට ගෙවීමට එකඟවු වැටුප දෙසයි.

" හත් දෙයියනේ රමණී මගෙ පඩිය වගේ දෙගුනකටත් වැඩියි , ඔයාගෙ පඩියටත් වඩා වැඩි "

විනීතාට ජීවිතය ඉන් පසු වඩාත් අසීරු එකක් වියනිරාෂා කෙරෙහි සිත තුල ඉපැදුනු තරහව,වෛරය ඈටම තේරුම් ගත නොහැකි එකක් විය.

නිරාෂා සියල්ලන් සමග සැහැල්ලුවෙන් විනෝදෙන් කරන කතාව , හඬ නගා හිනැහෙන විට ඇගේ දිගු දෑස් සතුටින් පිරී හීන් වෙන් හැටි , කන පැලැඳි තෝඩු අනුව හෙලවෙන හැටි , දවසේ කොයි වෙලේත් කෙරෙන් හැමූ මන බඳවන විලවුන් සුවඳ , නිරාෂා කරන කියන සියල්ල විනීතාගේ ඉමහත් තරහවට අප්‍රසාදයට හේතු විය.

සරෝජා එනම් කර්මාන්තශාලා පාලිකාව නිරාෂා අතිශයින් ප්‍රියකිරීම විනීතාගෙ තරහව තවත් වර්ධනය කරන්නක් විය.

රාජේශ් හා නිතරම සිලි බිලි හඬින් ඉංග්‍රිසියෙන් කරන කතාව ද්වේෂයෙන් බලා සිටියාය.

නිතර මෙහි පැමිනෙන වෙලඳ නියෝජිතයන් , විශේෂයෙන්ම තරුනයන් දැන් දැන් නිතරම පැමිනීමත් විනීතාට රිස්සුම් නොදීය. ඔවුන් නිතරම නිරාෂාට  හා රාජේශ් තෑගි බෝග දීම කලේ වෙලඳ ප්‍රවර්ධන කාරියට පමනක් වුනත් සහ නිරාෂා සහ රාජේෂ් හැමවිටම ඒවා කාර්යාලීය සගයන් සමග බෙදා හදා ගත්තත් ,විනීතා එය දුටුවේ සම්පූර්නයෙන්ම වෙනස් ආකාරයකිනි.

" අපිටත් පුලුවන් ඉතින් සිරික්කිය දාල , මායම් පෙන්නලා  තෑගි බෝග ගන්න "

රාජේශ් අහලක පහලක නැති හැමවිටම විනීතා නිරාෂාට පහර ගැසුවාය.

වෙනෙකක් තබා කර්මාන්තශාලවේ සේවිකාවන් " අනේ අපේ චූටි මිස්, මෙන්න මිස්ටමයි  ගෙනාවේ" කියමින් නිරාෂා අත  කඩචෝරු , වෙරලු, අඹ වැනි දෙයක් ගුලිකොට  කරන කතාවත් විනීතාගෙ ඇස් අග ඇනුන කටුවක් වැනි විය.

අපි මේ කන්තෝරුවෙ තියාගෙන හිටපු තැනත් ඉවරයි රමනි ,දැන් හැම එකාම චූටි මිස් , චූටි මිස් ගාගෙන මේක ඇතුලේ"

නමුත් නිරාෂාට ලැබුන කඩචෝරුවක් රසවිඳින රමනිටවත් , රාජේශ්ටවත් වචන,ඇනුම්පද වලට උත්තර දීමට තරම් උවමනාවක් නොවූයේ ඔවුන්ද නිරාෂා ප්‍රිය කල වූවන් නිසාය.

" මේ කෙල්ල හැමෝටම වශියක් කවලද කොහෙදසිතමින් තමන් වෙත නිරාෂා දිගු කරන පලතුරක් විනීතා පිලිකෙව් කරන්නේ " මට එපා ඔය මල ජරාව" කියමිනි.

විනීතා නිරතුරුවම හිත කරදරයෙන් උන්නාය , තමා අවලස්සන බවත් , අවාසනාවන්ත බවත් නිතරම ශෝකයෙන් සිහි කලාය.

" මට කවුරුත් නෑ , ඇයි  මට කිසිම හොඳ දෙයක් වෙන්නෙ නැත්තෙ?"

විනීතා සති අග ගමට ගියේ තිස් දෙවන යෝජිත මනමාලයා වෙනුවෙනි.

" ඔන්න පොඩි දූ මේකවත් හරි ගියොත් හොඳයි , නැත්තම් ඉතින් උඹ හැමදාම තනිකඩව හිටපන් , මටත් මේ සුමේ කරලා ඇති වෙලා හැම මාසෙම, එන බාගෙකට උඹ කැමති නෑ , ඉතිරි බාගෙ උඹට කැමති නෑ. ඔච්චර තෝරත්තම් වෙන්න එපා බං , දැන් උඹට හතලිහත් පැනලනේ , ඔය මාන්නේ දැන්වත් තියපං පැත්තකින්" අම්මා මද නොරිස්සුමෙන් කියයි.

පැමිනි විදුලි ඉංජිනේරුවා ,භානුකට විනීතා බොහෝ සේ කැමති වුනාය. ඔහුගේ පෙනුම , හැඩරුව , කතාබහ, සියලටම වැඩියෙන් කුලය හා රැකියාව බලාපොරොත්තු වූ සේම විය.

"මම නම් එයාට කැමති අම්මා , එයා මොකක්ද කීවෙ"

" දරුවා නම් හොඳ පාටයි තමා , කපු හාමිනේ කීවෙ ලබන සුමානෙ දන්නලා එවාවිය කියලා"

සති අග අවසානයේ විනීතා නැවත රැකියාවට ගියේ මහත් වූ උද්දාමයෙනි. පෙනෙන නොපෙනන තරමින් වූ මද සිනා රැල්ලක් ඇගේ මුහුනේ නිරතුරුව විය.

නිරාෂා ඇගේ පෙම්වතා හා කාරයේ නැගී යනු දැක තිබේ. විනීතා නිරාෂාගේ පෙම්වතා හා තම යෝජිත මනාලයා හිතින් සන්සංදනය කලාය.

" අපෝ , කොල්ල භානුකගෙ පැත්තකින්වත් තියන්න බෑ. ඕනම නම් භානුකට වඩා ටිකාක් වයසෙන් අඩු ඇති , නමුත් භානුක මොනතරම් හැඩද , උගත්ද, කොල්ලගේ කාරෙකට වඩා භානුකගෙ කාරෙකත් වටිනව , අලුත්ම තාලේ එකක් නේ"

විනීතා දැන් දැන් පෙම් සිහින දකින්නී , කාර්‍යාලයේ සියල්ලන්ටම භානුක ගැන තොර තෝංචියක් නැතිව වර්ණනා කලාය.

"දැන් විනීතා , කවදද මගුල් ගෙදර ?"  සරෝජා ඇසුවේ මේ කතාව කරච්චලයක් වන පමනටම වැඩි වූ කල්හිය.

" ආහ්, එයා මට කැමති කියපු ගමන්ම අපි බඳිනවා."  විනීතා කිව්වේ මහත් උජාරුවෙන් උනත් , සරෝජා හා රමනි එකිනෙකා වෙත් ඇස් ඉඟිමරමින් සිනාවෙනු දුටුවේ නැත.

භානුක ගෙන් පනිවිඩයක් නොමැතිව දින දින ගෙවෙද්දී විනීතා මහත් නොසුන්සුන්තාවයකට පත් වන්නට වූවාය.

දිනපතා  මවට කතා කරමින් " අම්මා තාම මුකුත් ආරංචියක් නැද්ද ?  හත් අට වර විමසුවාය.

"අනේ මේ ලමයෝ , ඔච්චර නැහෙන්න එපා , කැමතිනම් කපු හාමිනේ අපිට දැනුම් දෙයි නෙ" මව නිස්කාංසුවේ කිව් නමුත් " මේක හරි නොගියොත් නම් මෙයා මොන ගිනි විජ්ජුම්බරයක් නටයිද දන්නෙ නෑ" කියමින් ලතැවුනාය.

අවාසනාවන්ත පනිවිඩය විනීතා ලැබුනේ සිකුරාදා හැන්දෑවේය..

" අනේ පුතේ , ලමයා කැමති නෑ කිව්වලු " මව කනගාටුවෙන් කියනු  විනීතා අසා සිටියේ සිහිනෙන් මෙනි.

දුරකතනය බිම දැමූ විනීතා මහ හඬින් හඩා වැටුනාය. රමනී වහා පැමින වැලඳගත්තාය. ඇගේ හැඬුම නවතනු නොහැකි තැන විනීතාව ඇගේ නවාතැනට හැරලනු හැර රමනීට කල හැකි වෙන කිසිවක් නොවීය.

විනීතා ඉන් පසු එලඹුන සතියම රැකියාවට නොපැමිනියාය. තම නවාතැනට වී දිවා රෑ නොමැතිව හඬා වැටුනාය.

"ඇයි මටම මෙහෙම උනේ ... ඇයි මටම මෙහෙම උනේ ? කියමින් නොනවත්වා හැඬුවාය.

ඉන් පසු සඳුදා රැකියාවට පැමිනි විනීතා , වඩ වඩාත් නිරාෂා කෙරෙහි නොපහන් වූයේ , තමාට සිදුවන සියලු අයහපතට ඇය වගකිවයුතු වූ සේය.

 භානුක මට අකමැති උනේ මම වයස නිසා වෙන්න ඕන. එයා වගේ මිනිහෙකුට හුඟාක් අඩු වයසේ කෙල්ලෙක් උනත් කැමති වෙයි සිතන විනීතා ගේ හිතේ එක්ෂණයෙන් ඇඳෙන්නේ නිරාෂා ගෙ රුවයි .

භානුක හා නිරාෂා අත් පටලාගෙන සිනාසෙමින් විනීතා දෙස ඔච්චමට මෙන් බලමින් ගමන් කරනු ඇගේ මනසේ මැවේ.

 මෙසේ සිතෙන වාර ගණන දිනෙන් දින වැඩිවුන තරමටම විනීතා ගේ මුහුන වඩාත් දුර්වර්ණ පෙනුමක් ගත් අතර නිරාෂා දෙස බලන හැම විටකම , හඬ ඇසෙන හැම විටකම  ඇගේ දෑස් ක්‍රෝධයෙන් දිලිසුනි, නලල දෙපස නහර ඉලුප්පිනි.

මෙම ආයතනයේ සුදු ජාතික අයිතිකරු නිරාෂා නිතර ඇගයීම කලේය. විදෙස්  ගැනුම්කරුවන් එහි පැමිනෙන හැමවිටම ඔවුන් පිලි අරන් සංග්‍රහ කටයුතු කිරීමට භාර දුන්නෙද නිරාෂාටය.

නිරාෂා නිසැකයෙන්ම විනීතාට සිහිනෙන්වත් ලඟා විය නොහෙන තරමට ආයතන ප්‍රධානීන්ගේ මතු නොව , සේවකාදීන්ගේ පවා සිත් දිනා ගනිමින් , ඔවුන්ගේ ආදරයද , ගෞරවයද ලැබුවාය.

විනීතා මේ සියල්ල ඉතා තරහින් බලා සිට රාජේශ් කන්තෝරුවේ නොමැති හැම විටම නිරාෂාට පමනක් ඇසෙන්නට ඇනුම් පද , සමහර විට ඉතා ද්වේෂ සහගත චෝදනා පවා කලාය.

"කර ලොකුවට , සාය හිරට කොටට ඇන්දම ඉතින් ඕවා කරගන්න පුලුවන්"

නිරාෂා මේ සියල්ල දරා ගෙන  බැල්මකින්වත් ප්‍රතිචාර නොදැක්වීම විනීතාගේ තරහව තවත් වැඩි කරවන්නට හේතු විය.

මෙම කාර්‍‍යාලයේ පිලිගැනීමේ කටයුතු සහ  දුරකතනයට පිලිතුරු දීම කලේ මෙතෙක් කල් රමනී විසින් වූ අතර , ඇය ආසනයේ නොමැති විටකදී රාජේශ් කාරිය භාර ගෙන තිබුනි. මේ කතා බහ සියල්ල සිදු වූයේ ඉංග්‍රිසියෙන් වූ නිසා විනීතාට දුරකතනයට පිලිතුරු නොදෙන්නැයි ආයතන ප්‍රධානීන් දන්වා තිබුනේ , දිනක් ඇය එයට පිලිතුරු දුන් ආකාරය ගැන නොපැහැදුන විදෙස් ගැනුම් කරුවෙක් ආයතන ප්‍රධානියාට ගැන කල චෝදනාවෙන් පසුවය.

එම කතාව කෙසේ හෝ කර්මාන්තශාලාවේ සේවකයන් අතර පැතිර තිබුනේ " විනීත මිස් ඉංග්‍රිසි බැහැ " යනුවෙනි. මෙම කතාව පැතුරුවායැයි සිතා විනීතා ටික කලක් සරෝජා සමගද කතා නොකර සිටියාය.

රමනී මෙන් ලස්සනට ඉංග්‍රිසියෙන් කතා කිරීම විනීතාගේ සිහිනයක් පැවති අතර , නිරාෂා රමනීටත් වඩා හොඳින් ඉංග්‍රිසි කතා කරනු දැකීම විනීතා ගේ හිත තව තවත් හකුලවන්නක් විය.

විනීතා ගේ ඉවසීමේ සීමා පනින දවසක් ඊලඟට උදාවිය.

විනීතා එදා උදේ කාර්‍යාලයට ඇතුල් වන විට , නිරාෂාගේ මේසය උඩ බැබලෙන අලුත්ම අලුත් දුරකතනය දුටුවාය.

සමගම පැමිනි ඇමතුමට ,නිරාෂා ඉතා පැහැදිලිව ලස්සනට පිලිතුරු දෙනු අසා සිටියාය..

විනීතාට දැනුනේ එදා භානුක කැමති නැහැ කියා කිව් දා දැනුන හැඟීමමය.

තරහවෙන් , වේදනාවෙන් , වෛරයෙන් ඇගේ සිත පිරුනි , තරහව කඳුලක් වී දෑසින් ගලනු දැනුන විනීතා , දෑස් පිසලමින් ;

"මේකි මගේ ජීවිතේ විනාස කරන්න ආපු හැතිරියක් , මම මේකිව මෙතනින් චුත කරවනවා" සිතමින් දත් කූරු කෑවාය.

එද කර්මාන්තශාලාවේ පඩි දවසයි. සේවකයන් දහස් ගනනකට පඩි ගෙවන මෙදා කන්තෝරුවේ සැමට වැඩ අධික දවසකි.පඩි ගෙව්වේ බැංකු ගිනුමකට නොවේ. මුදල් නෝට්ටු සහ කාසි කවරයකට දමා එක් එක් සේවකයාට වශයෙනි. සේවකයන් සේවක අංක පිලිවෙලට කතා කිරීමට  , අදාල පඩි මුදල පඩි වාර්තාවෙන් බැලීමට, මුදල් ගනන් කිරීමට , නැවත ගනන් කොට කවරයට දැමීමට ආදී වෂයෙන් කාර්‍යාලයේ සියලු දෙනා මේ කටයුත්තට දායක වූහ.

තම සිතේ උපන් පලිගැනීමේ අදහස එදාම ක්‍රියාත්මක කිරීමට සිතූ   විනීතා හිස ඔසවා බැලුවාය , සියල්ලෝම කඩිසරව මුදල් ගනන් කිරීමේ , නැවත් ගනන් කිරීමේ යෙදෙති .

තමා එතැන නොමැති බව නොදැනෙන්නට වගබලාගෙන විනීතා සර්පයෙකු සේ එතැනින් හිමිහිට ඇදුනාය.  කෙලින්ම ඇය ගියේ සාම්පල් කාමරයටයි , එතැනින් ඉතා අනර්ඝ ඇඟලුමක් ඔසරි පොට අස්සේ ගසා ගත්තාය , හොරෙකු සේ වට පිට බලමින් නිරාෂා ගේ මේසය තෙක් පැමිනි විනීතා සාම්පලය නිරාෂාගේ බෑගයට රිංගවූවාය.

තමන් කල වීර වික්‍රමය ගැන  සතුටෙන් උඩ පනින හිත තරමකට හීලෑ කරගෙන දුරකතනයෙන් ආයතනයේ ආරක්ෂක කුටිය   ඇමතූ විනීතා,                                                    " , අයි සී විජේසේන, අද හැමෝගෙම බෑග් චෙක් කරන්න වැඩ ඇරිලා යනකොට , මේ ඔෆිස් එකේ මිස්ලගෙත් චෙක් කරන්න විශේෂයෙන් " කීවාය.

.අයි .සී විජේසේන යනු අකලට මහලු වූ මිනිහෙක් නොවේ , යුද්ධ හමුදාවේ අවුරුදු ගනණක් ඉහල නිලයක් හෙබවූ, ඉන් විශ්‍රාම ගෙන ඉක්බිති පෞද්ගලික ආරක්ෂක අංශයේ රැකියාව කල අයෙකි. මිනිසුන් නොමිනිසුන් හඳුනාගැනීමේ කලාව හොඳින් ප්‍රගුන කලැත්තෙකි.

මේ ඇමතුම පැමිනියේ , විශේෂයෙන් එය විනීතාගෙන් පැමිනියේ කා ඉලක්ක කොට ගෙනද යන්න  එකවිටම තේරුම් ගැනීමට තරම් පුරුදු පුහුනු කල විචාර බුද්ධියක් සතු මිනිසෙකි විජේසේන.

තම දියනියක වැනිවූ හුරතල් ගති සිරිතෙන් යුතු , " විජේසේන අංකල්" යනුවෙන් තමා අමතන නිරාෂා ඉලක්ක කොට ගෙන යම් කුමන්ත්‍රන කාරී ක්‍රියාවක් සිදුවෙනු බව වටහාගත් විජේසේන වහා කාර්‍යාලයට අමතා

" අහ් රමනී මැඩම් , මේ නිරාෂා මිස් හමුවෙන්න මෙන්න අර නූල් කොම්පැනියෙන් මහත්තයෙක් ඇවිත් , හදිසි කාරනාවකට " කීවේ කෙසේ හෝ මේ කරදරයෙන් ගලවා ගැනීමටය.

රමනීගේ ඇනවුම මත  ආරක්ෂක කුටිය වෙත පැමිනි නිරාෂාට  සිදුවීම විස්තර කල විජේසේන;

" මිස් වහාම බලන්න මිස් ගෙ බෑග් එක , මොනව හරි වටින දෙයක් දාල තියෙන්න පුලුවන්" කීවේය.

"අනේ විජේසේන අංකල් විනීතා ටිකක් නපුරු උනාට එහෙම කරන එකක් නෑ'  කීවත් විජේසේනට ස්තුති කොට ලහි ලහියේ කාර්‍යාලයට ගොස් තම බෑගය පරික්ෂා කොට විජේසේනගේ සැකය නිවැරදි බව දැන ගත්තී , නැවත එම සාම්පලය සාම්පල් කාමරයට දමා නැවතත් පඩි ගෙවන කාමරයේ මුදල් ගනන් කිරීමේ යෙදුනේ , විනීතා තමන් දෙසට හෙලන විමසුම් සහගත බැලුම් නොතකාය.

විනීතා එදින හවස  මහා සතුටකින් විජේසේන නිරාෂා ගේ  බෑගය පරික්ෂා කරනු බලා සිටියත් , මොහතකින් ඇගේ මුහුන හුලං ගිය බැලුමක් මෙන් වූයේ එහි කිසිවක් නොමැති බව දැන ගත් මොහොතේය.

වරින් වර විජේසේන දෙසත් නිරාෂා දෙසත් බැලුවත් ඔවුනොවුන් අතර සැක සහිත එක් බැල්මක්වත් හුවමාරු නොවූයෙන් දුර්මුඛ වූ විනීතා

 " මේ සාම්පලයට මොකද උනේ, මේකි කොහොමද මේකෙන් බේරුනේ"  සිතූ නමුත් , වචනයක් වත් විජේසේනගෙන් පිලිබඳව විමසීමට මැලිවූයේ තම හොර හිත නිසාමය.

නිරාෂා මේ පිලිබඳ නොදන්නා බවට විනීතාට කිසිඳු සැකයක් නොතිබුනත් , ආරක්ෂක කුටියේ සිට කෙලින්ම තමන් දෙසට එන නිරාෂා දුටු විට විනීතා ගේ හිත මදක් සලිත වුන බව නම් ඇත්තකි.

විනීතා අසල නැවතී එක එල්ලේ ඇගේ දෑස් දෙස අරුත්බර බැල්මකින් බැලූ නිරාෂා , වචනයක් හෝ නොදොඩා වෑන් රථයට නැගුනාය.

එතැකින්ම නිරාෂා තමන්ගේ කූඨ උපක්‍රමය පිලිබඳව දන්නා බව විනීතා වටහාගත්තාය.

එම සිද්දියෙන් පසුව ගතවුන මාසයක කාලයකදී , නිරාෂා ආයතනයෙන් සමුගත්තේ වඩාත් උසස් ආයතනයක වඩාත් ඉහල තනතුරක් වෙනුවෙනි.

නමුත් නොමැති අඩුව නම් ආයතනයේ සෑම මට්ටමක්ම නියෝජනය කරන සේවක සේවකාදීන්ටද දැනුනි.  

විනීතාට මේ අඩුව කාටත් වඩා දැනුන අතර රැකියාව ඇයට තව දුරටත් ප්‍රියජනක එකක් නොවීය .නිරාෂා ගැන කෙරෙන කතාබහකදී මග හැර යන්නට විනීතා පුරුදු වුනේ සිතට දැනෙන මහා වරදකාරී හැඟීම කඳුලක්ව දෑස් තෙත් කල නිසාය.

කාලය ගතවුනේ පියාඹන වේගයෙනි . විනීතා රැකියාව කල ආයතනය අවුරුදු ගනනකට පසු වසා දමා අයිතිකරුවන් තම රටට ගියහ.

එතෙක් අවිවාහකව , තවත් පෙනුමෙන් වයසටත් වඩා වයස පෙනුමකින් යුතුවූ විනීතා රැකියා බොහෝ ගනනකට ඇයදුම් කලත්, සම්මුඛ පරීක්ෂන බොහෝ ගනනකට මුහුන දුන්නත් රැකියාවක් නම් නොලද්දීය.

දෙමාපියන් මිය ගිය පසුව , බාල සහෝදරයා  විනීතාගෙ මහ ගෙය විකුනා පිට රට පදිංචියට ගියේ " පොඩි අක්කව අපි නැති දවසක බලාගනින්" යන දෙමාපිය ඉල්ලීමටද පිටුපාය.

විවාහ යෝජනාවකදී ඇතිවුන බහින් බස් වීමක් නිසා දෙසොහොයුරින්ද විනීතා නොසලකා හැර ඇත. වැඩුමල් සහෝදරයා ඉඳහිට දුරකතන ඇමතුමක් දුන්නත් , එයද යුතුකමට මිස විනීතා කෙරෙහි වූ ආදරයකින්, අනුකම්පාවකින් නොවේ.

අතේ රැඳුනු වැඩි මුදලකුදු නොමැතිව,යන්නට මහ ගෙදරකුදු නොමැතිව , නවාතැනට ගෙවන මුදලත් මහමෙරක් සේ දැනුන, සිත්තැවුල් , දොම්නස් පිරි , තමා තව දුරටත් ජීවත් විය යුතුද යන්න තමන්ගෙන්ම ප්‍රශ්ණ කරගනිමින් ගතකල මහා අසුභ කාලයක විනීතා ලද එකම සුභ පනිවිඩය වූයේ එක් ආයතනයකින් පැමිනි කැඳවුමකි.

විනීතා මෙම ආයතනයේ පලමු හා දෙවන සම්මුඛ පරීක්ෂනයන්ට මුහුන දී ඇති නිසා ඇය මෙම හමුවීමට ගියේ මහත් බලාපොරොත්තු සහගතවය.

ගිණුම් අංශ ප්‍රධානියා විසින් මෙහෙයවූ හමුව සාර්ථක එකක් විය.

කතාබහ අවසානයේ ආයතන ප්‍රධානියා විනීතා අමතා;

" මම හිතන්නේ මම විනීතාව මෙම රැකියාවට බදවා ගන්නට පෙර විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව , අපේ ආයතනයේ නීති ප්‍රතිපත්තියක් ලෙස අපි කිසිවෙක් බඳවා ගැනීමට පෙර පසුබිම් විපරුමක් කරනවා , නමුත් කනගාටුයි කියන්න අපිට විනීතා ගැන අසන්නට ලැබුනෙම අයහපත් තොරතුරු , කිසිවෙක් අපිට ඔබ ගැන කිසිම සුභදායී ගුනයක් කීවේ නෑ'

විනීතා භීතියෙන් මුසපත් වුනාය " දෙවියනේ මට මේ රස්සාවත් නැති වෙයිද , අනේ එහෙම වෙන්න නම් එපා" යයි දෙවියන් යැද්දාය.

විනීතා දෙස මද සිනාවකින් බැලූ අංශ ප්‍රධානියා , " කලබල වෙන්න එපා විනීතා , නමුත් කෙනෙක් ඔයාට මේ අවස්ථාව ලබල දුන්නා"

එඇසූ විනීතා එතෙක් පහල නොදමා අල්ලා උන් හුස්ම හිමීන් පහල හෙලා ආසනයේ මදක් පහසුවෙන් වාඩි වුනාය.

 " දන්නවද නිරාෂා පෙරේරා මැඩම්ව, ඇය තමයි මෙම ආයතනයේ වෙලඳ අධ්‍යක්ශක , දුන්නා විනීතා ගැන ඉතාමත් වටිනා සහතිකයක් , කීවා විනීතා ඉතාමත් දක්ෂ, කාර්යක්ෂම  ,පලපුරුදු ගිණුම් නිලධාරිණියක් බව, එවගේම ඔබව මේ රැකියාවට අනිවාර්යෙන්ම බඳවා ගත යුතු බවට නිර්දේෂ කලෙත් ඇයයි”.

  වචනවල බර වාවාගත නොහුනු විනීතා වහා බිම බලා ගත්තේ, රූරා වැටෙන කඳුල අංශ ප්‍රධානියා නොදකින්නටය.

------------------------------------------------

නිලූ සේනාධීර.

මිනි මිනි පොදේ - 13.01.24

  (මහා චිත්‍ර ශිල්පී , පබ්ලො පිකාසෝ ගේ " වැලපෙන කතචිත්‍රයෙනි)

Comments

  1. විනීතාගේ ගතිගුන එතරම් කලු නොකරානම් හොඳයි.

    ReplyDelete
  2. මේ වගේ චරිත මමත් දැක තියෙනව! කෙටි කතාවක් ප්‍රභන්ධයක් කියලා හිතුවත් මේ වගේ අය සමාජයේ ඕනෙ තරම්!

    ReplyDelete

Post a Comment