මතක තිබෙන බැඳීම්

 



            (පින්තූරය අන්තර්ජාලයෙනි , එහි නිර්මාණකරුට මාගේ ස්තුතිය)

 

මම කැමතියි බැඳීම් ගැන ලියන්න. මම හිතන විදිහට මේ බැඳීම් තමයි අපිව ජීවිතයට අල්ලලා බැඳලා තියාගන්නේ. බැඳීම් කියන වචනයේ තේරුමම ඉතින් බැඳලා  දාලා කියන එකනේ.

 

හොඳට හිතලා බලන්න,  මේ මානව බැඳීම් තමයි මේ ලෝකේ පවත්ව ගෙන යන්නේ.

මනුස්සයින් අතර එකිනෙකා කෙරෙහි ඇතිවන බැඳීම , මනුස්සයින් සහ සතුන් අතර , ගහකොලට , පරිසරයට ඇති වන බැඳීම නිසයි ලෝකේ පැවතෙන්නෙ.

 

බුදු දහමට අනුව මේ බැඳීම් තමයි තණ්හාව වෙන්නෙත්. තණ්හාව  එහෙම නැත්තම් බැඳීම නැති කලොත් උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගන්නත් පුලුවන්.

 

මම මගේ ආදරනීයන්ට තදින් බැඳුන කෙනෙක්. මගේ පවුල ,යාලුවො, නෑදෑයො, රට , ජාතිය,ආගම ධර්මය ලෙසින් මම මගේ මගේ මගේ කියලා හිතින් තදින් අල්ලං ඉන්නේ.

නමුත් මම උත්සාහ කරනවා මේ බැඳීම් එකින් එක , ටිකෙන් ටික දුරස් කරන්න.

 

අනිත් එක මතක. හොඳ හෝ නරක මතක.

 

මේ මතක තමයි බුදු දහමට අනුව සංසාරය දික් ගස්සන කර්ම ඇති කරන්නේ.

මම නරක , නපුරු ,අඳුරු මතක නම් අමතක කරලමයි ඉන්නේ.මට පුදුමයි ඇයි මට මගේ ජීවිතේ අනිත් අයට මතක තියෙන සමහර දේවල් මට අමතක කියලා.

 

මම කියවලා තියෙන විදිහට අපේ ජීවිතෙ අපි අකමැති පරිච්ඡේද , සිද්දි අපිට අමතක වෙන්න පුලුවන්ලු. ඒක මොලය එහි සුවතාවය පවත්වාගෙන යන්න කරන පොඩි විජ්ජාවක් ලු.

 

ඒත් සමහර මතක ඒ විදිහටම ගලේ කෙටිලා වගේ හිතේ කෙටිලා තියෙන්නේ ඒ මතක  අපිට සුන්දර , හිතෛශී හැඟුමන් හිතේ ඉතිරි කරලා නිසා වෙන්න පුලුවන්.

 

ඉතින් මේ කතාවත් ඒ වගේ මගේ හිතේ හිතවත්කම, මිනිස් බැඳීම්  පිලිබඳ සලකුනක් ඉතිරි කරපු අහිංසක ගැහැනියක් ගැන කතාවක්.

මොකටෙයි නෝනා බොරු කියන්නේ"

හැම වාක්‍යයක් ඈ පටන් ගත්තේ එහෙම කියමින්.

මේක මගේ දූ ටත් මටත් මහා විනෝදයක් ගෙනාවා.

 

"නෑ නෑ බොරු කියන්නේ මොකටෙයි , ඇත්තම කියන්න" කියමින් අපි හිනාවුනා.

අනේ අහිංසක ඇයත් ඉතින් අපි එක්කම හිනා වෙනව එතකොට.

 

ඒ දෙදාස් හත අවුරුද්දේ දවසක් . මමයි දුවයි අලුතින් හදපු  නිවහනට ගෙවැදුන අලුත.  ඉතින් ප්‍රශ්න ගොඩයි .  තරුණ මවක් සහ දුවක් අලුත් පලාතක තනිවෙනවා කියන එකම ප්‍රශ්නයක් නේ.

ඔක්කෝම ප්‍රායෝගික ප්‍රශ්න. 

ඒ වගේ බොහොම කාර්‍යබහුල රස්සවකින් පස්සේ මට ගෙදර වැඩත් කරන්න පුලුවන්ද?

දුව ඉස්කෝලෙන් පස්සේ මම ගෙදර එනකං ඉන්නේ කොහෙද?

උයන්නේ කවුද ?

අපි දෙන්නට තනිවම අලුත් පලාතක ඉන්න බය නේද ?

 

මම රැකියාව කලේ දුවගේ ඉස්කෝලෙ ලඟ නිසා මට උදේට එයාව ඉස්කෝලෙන් දාගෙන යන්න නම් පුලුවන්.

 

නමුත් එයාව හවසට පාසල් බසයෙන් ගන්නේ කවුද?

 මේ ඔක්කොම ප්‍රශ්න වලට එකම සහ හොඳම පිලිතුර විදිහට තමයි , අපිට ඈව ලැබුනේ. ලැබුනේ නැහැ , බොහොම අමාරුවෙන් හොයා ගත්තේ.

 

දුටු මොහෙතෙම අපි ඈට කැමති උනා. පිරිසිදුව , පිලිවෙලට ලුන්ජියක් ඇඳලා, බාගෙට සුදු වුන කොන්ඩය පිලිවෙලට පිටිපසට පීරා බැඳලා. කට පුරා හිනා වීගෙන හිටපු ඈ දුටු ගමන් මායි , දුවයි එකිනෙකා දිහා බලන් හිනාවෙන් අපේ කැමැත්ත හුවමාරු කර ගත්තා.

ඉතින් එද ඉඳන්ම ඇය අපේ පවුලේ තුන් වෙනියා උනා.

මමයි , දුවයි, සෝම අක්කයි.

 

මම ඈට සෝමා අක්කා කිව්වෙ ,නැත්තම් මගේ දුවට ඈට ආච්චි කියන්න වෙන නිසා. ආච්චි කියන්න තරම් වයසක සෝම අක්ක උන්නේ නැහැ. ඒ වගේම අක්කා කියන්න තරම් තරුන වුනෙත් නැහැ.

නමුත් අපි වයසේ වාසිය ඈට දීල , මම අක්කා කියන්නයි , දුව ඇන්ටි කියන්නයි හිතා ගත්ත.

ඉතින් ඊට පස්සේ අපේ ජීවිත ගොඩාක් පහසු උනා.

 

උදේට තේ එක බොන්න කුස්සියට යනකොට හිනා කටින් අපේ අතටම තේ එක. උදේ කෑම . දුවට ඉස්කෝලෙට කෑම.

මගේ දවල් කෑම එක ලස්සනට පිඟානකට බෙදලා,සර්වියට් එකකින් ගැට ගහල කාර් එකටත් දාලා.

උදේ නැගිටලා , මූන කට හෝදලා, බුදුන් වැඳලා තමයි ඇය දවසේ වැඩ පටන් ගන්නේ.

අපි ගෙදරින් පිට වෙනකොට ගේට්ටුව ලඟ ඉඳන් අපි නොපෙනී යනකන් ම අත වනනව.

මේ හිනා මූන දැක්කම , දැකලා ගෙදරින් පිට වුනාම දවසම සුභයි.

 

දුව ඉස්කෝලේ ඉඳන් ගෙදර ආවම බලාගෙන වෑන් එකෙන් අරගෙන , රෑට උයලා, පිහලා , මල් ගස් වලට වතුර දාලා , බුදු පහන තියලා, දෙන්න එක්ක කියව කියව පාර බලං ඉන්නවා මම එනකං ගේට්ටුව අරින්න.

මට තේ එක දුන්න ගමන් , සෝමා අක්ක අපෙ ටීවී එක බදු ගන්නව. හවස හයේ විතර ඉඳන් මහ රෑ දහය එකොලහ වෙනෙකම් ඉතින් අපි මළයි කිව්වත්, ගේ ගිනි ගන්නවයි කීවත් ,ඇගේ ඇස් නම් ටීවී එකෙන් මිදෙන්නෙ නෑ.

වෙලාවකට මේ මොන වදයක් ද කියල හිතුනත් , අනේ ඉතින් මේ අහිංසක මනුස්සයට තියෙන එකම සන්තෝසෙ මේකනේ කියල හිතල මමයි දුවයි වෙන වැඩක් බලා ගන්නවා.

 

මම මගේ කාමරේ කන්තෝරුවෙ වැඩක් උනත් , කල් යල් බලල කාමරේට එබෙනවා.

"නෝනෙට තේ එකක් ගෙන්නෙයි "

එහෙම නැත්තම් " මොන කන්තෝරුවෙද නෝනෙ මේ රෑ ජාමෙ වෙනකම් වැඩ තියෙන්නෙ , දැන් නෝනෙගෙ කන්තෝරුවෙ අනිත් අය තාම කන්තෝරුවෙද?

ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහගෙන ඇවිල්ල , ඉතින් මගේ වැඩේ නවතිනකම් එයාගේ ගමේ විස්තර , පවුලේ විස්තර කියවනවා.

“මොකටෙයි නෝනෙ බොරු කියන්නෙ “,  ඒ අපි ඇගේ කතාවලින් ආසම එක.

 

 එදත් මම වැඩ ඉවරවෙලා ඉක්මනට ගෙදර ආවේ කන්තොරුවෙ පාටි එකකට යන්න. මම වැඩ කරපු ඇඟලුම් ක්ශේත්‍රයේ ඒ පුරෝගාමී සමාගමේ රත්මලානෙ බොරුපන පාරේ පිහිටි මධ්‍යස්ථානයේ නිතරම පාර්ටි. සමහර වෙලාවට සහභාගී වීම අනීවාර්යයි .

 

මම එනකොට ගෙදර අනේ මෙන්න දෙන්නා වෙනද වගේම බොහොම ප්‍රීතියෙන් හිනාවෙවී ගේට්ටුව අරිනවා. මගේ ගෙදර වෙනම ගරාජයක් තිබුනේ නෑ. මම කාරය නවත්වන්නේ පෝටොකෝවේ. පෝටිකෝවයි තාප්පයයි අතර බොහොම පොඩි ඉඩකින් තමයි කාරෙක රිංගවන්නේ. මේ වැඩේ බොහොම සීරු මාරුවට කරන්න ඕන වැඩක්. හරියට අතෙකින් කරවලෙකි, අතෙකින් ඳඩු බෑය , මරන තුනක් ඇති මිනිහෙක් පැනි කෑය වගෙ.

වැරදුනොත් එක්කො කාරෙක , එක්කො තාප්පෙ , එක්කො පෝටිකෝවෙ කනුව ඉවරෙටම ඉවරයි.

 

මගේ කාරය රක්ෂණය කරන්න ආපු රක්ෂණ නියෝජිතයා ඔලුවෙ අත් ගහගත්තා මම ඒ කරන වික්‍රමය දැකලා.

 

උපන්දා සිට කාර් එලවන මගේ මස්සිනාවත් මගේ කාරය හදිසියකටවත් මේ   පෝටිකෝවෙන් එලියට ගන්නෙ නෑ , මටම කියනව මිසක්.

 

නමුත් මට නම් ඕක එච්චරම අමාරු කාරියක් උනේ නෑ.

 

හැබැයි මම පරිස්සම්, මොකද මගෙ කෙලි පොඩ්ඩි මම කාරෙක පෝටිකෝවට දානකොටම සමහර වෙලාවට ගෙයි ඇතුලෙ ඉඳන් දුවගෙන ඇවිත්  පෝටිකෝවට පනින නිසා.

 

එදත් මම සුපුරුදු විදිහටම කාරෙක පෝටිකෝවට දාන්න ඉස්සෙල්ලා බැලුවා දුව කොහෙද කියලා, මේ ඉන්නේ කෙල්ල හිනාවෙවි , සෝමා අක්කා ලඟට වෙලා. සෝමා අක්කත් ඒ හිනාව බෝ වෙලා වගේ ඉන්නවා පෝටිකෝ කනුව ලඟ හිටගෙන.

හරි , මාර්ග භාධක නෑ , මම ත් පැති වීදුරුව පාත් කරලා එගොල්ලන්ට හිනාවක්ම දීලා ,පෑගුවා කාරය ඉස්සරහට ගන්න.

 

මට එතකොටම ඇහුනා, චර චර , චිරි චිරි ගාන සද්දයක්. පෑගුවා නෙමෙයි පෑගුනා බ්‍රේක්.

පැති කන්නාඩියෙන් බැලුවම මට පේනවා දුවගෙ බයෙන් බිරාන්ත වෙච්ච මූන.

 

තවත් හොඳට බැලුවම පේනව මෙන්න සෝමා අක්කගෙ අත මගෙ කාරෙකටයි , පෝටිකෝ කනුවටයි අතර හිරවෙලා චප්ප වෙලා .

 

මට හීන්දාඩිය දැම්මා. එකපාරටම ගත්තා කාරෙක රිවස් එකට. එතකොට අයෙත් චිරි චිරිස් ගානව ඇහුනා.

කාරෙකෙන් පැනල බැලුව මොකද උනේ කියල.

 

අනේ දෙවියනේ , මේ අහිංසක මනුස්සයා මගේ කාරෙක කනුවේ වදී කියල අත තියලා කනුවට වදින එක නවත්තන්න.

 කාරෙක වැදුනානම් මොකද , කනුව කැඩුනා නම් මොකද , තාප්පෙ වැටුනානම් මොකද

මේ අත දැන් බලාගෙන ඉන්දැද්දි ඉදිමෙනව .

සෝමා අක්කගේ මූන වේදනාවෙන් බරවෙලා. අහන්නත් දෙයක්ද මොන තරම් වේදනාවක් ඇද්ද ?

ගත්තා කාරෙක , දාගත්ත දුවවයි , සෝමා අක්කාවයි , නැවතුනේ කලුබෝවිල මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ.

එක්ස් රේ පරීක්ශනයකින් පසුව වෛද්‍යවරයා තීරනය කලා , සෝමා අක්කාගෙ අතේ මැනික් කටුව පුපුරලා කියලා. විසඳුම ප්ලාස්ටර් එකක් දැමීම .

ඒකට ඇයව එදා ඉස්පිරිතාලෙ නවත්තන්න උනා.

 

ගෙදර එන ගමන් මමයි දුවයි බොහොම දුකින් , පපුව බරවෙලා වගේ . ඇයි සෝමා අක්කා එහෙම කලේ , අපිට තිබුනේ එකම උත්තරයයි ..

ඒ ඇගේ හිතවත්කම. කාරෙක හීරෙයි  කියලා අත තිබ්බේ හරියට කවුරු හරි පහරක් දෙනකොට වලක්වන්න වගේ .

කඳුලුත් ආවා ඒ අහිංසකකම , හිතවත්කම මතක් වෙලා.

 

 දවස් දෙකක් නිවාඩුත් දාල සෝමා අක්කව බලන්න ඉස්පිරිතාලෙ ගියා. ඈ කනගාටු වෙන්නේ මට වැඩට යන්න බැරි උන එක ගැන මිසක් ඇගේ අත ගැන නෙමෙයි.

 

ඉතින් ඔන්න සෝමා අක්කව ගෙදර එක්කං ආවා. කිව්ව්ට අහන්නෙ නෑ, එක තැනක එක විදිහට ඉන්නේ නෑ. මට උදව් කරන්න හදනවා උයන්න.

 

ඉතින් මම තමයි දැන් ගෙදර සියලු කටයුතු කරන්නේ . ඇයට කෑම එකවත් බෙදාගන්න බෑ. හැන්දකින් යාන්තම් කෑම කන්න පුලුවන්,  ඒත් වමතින්.

 

සෝමා අක්ක හරි දුකින් , මොකද මම දැන් ඇගේ වැඩත් කරන නිසා.

ඈට කෑම එක බෙදල , රෙදි ත් හෝදල , තේත් හදල ෆ්ලාස්ක් එකට දාලයි මමයි දුවයි යන්නේ.

 

ඉතින් ඔහොම සුමාන දෙකක් විතර ගත වුනා. දවසක් මම ගෙදර එනකොට දුවයි , සෝමා අක්කයි ඉන්නව දෙන්නම , දුවගෙ මූනෙ තියෙනව මම කලින් දැකලා නැති අමුතු බැල්මක් , කරදරේකින් ,බයකින්වගෙ ..

 

මොකද පුතේ  " .. මම ඇහුවා.

 

අනේ අම්මා බනින්න නම් එපා මේ සෝමා ඇන්ටි මට කරදර කරපු නිසයි මම ඒක කරේ"

 දුව දැන් ඇඬූ කඳුලින්. .

 

"හරි හරි බනින්නේ නෑ , මොකද වුනේ"

 

  මම සෝමා අක්ක දිහත් බලනවා , ඒත්  සෝමා අක්කා ඉන්නවා බිම බලන් පූසියක් වගේ , සද්ද නෑ.

 

දුව සෝමා අක්කා ගාවට ගිහින් , එයාගෙ අර ප්ලාස්ටර් දාපු අත උස්සලා මට පෙන්නුවා.

 

ඈහ් !!!! කෝ ප්ලාස්ටර් එක"  , මට කියවුනා.

 

"ඒක තමයි අම්මා මම කියන්න හැදුවේ, සෝමා ඇන්ටි මේ ප්ලාස්ටර් එක දාලා අත කසනවා කියලා , මම බෑ කියද්දිම මට කියලා කතුරෙන් ඒක කප්පවා ගත්තා"

"මොකක්?"

දැන් මට ඉතින් , උතුර දකුන පේන්නෙ නෑ,  හොඳටම තරහයි ..

 

 "අම්ම බනී කියල දන්න නිසා මම, ප්ලාස්ටර් එකේ මාකර් පෑනෙන්  "මේක කපන්නේ සෝමා ඇන්ටිගේ බලවත් ඉල්ලීම නිසාය කියල ලියල , සෝම ඇන්ටි අත්සන් කරන්න අකුරු දන්නෙ නැති නිසා  එයාගේ ෆින්ගර් මාක් එකක් මම ලියාපු එකට යටින් තිබ්බා, මේ බලන්න අම්ම"

කියමින් දුව මට කපා දාපු ප්ලස්ටර් එක පෙන්නනවා.

 

“සෝමා ඇන්ටි බලම කරන නිසයි ඔන්න කපන්නේ. අම්මා බැන්නොත් මම නම් නැහැ ඔන්න"

මෙයට -අංජලී ( දුවගේ අත්සන)     

මෙයට- සෝමා ඇන්ටි -(සෝමා අක්කාගේ ඇඟිලි සලකුණ )

 

ඒකෙ ඇත්තටම දුව කියපු විදිහටම ලියලා , ඊට යටින් සෝමා අක්කගෙ ඇඟිලි සලකුන නිල් පාටින් ..

 

මගේ තරහව ඉවරයි ඒකෙන්ම , මට දැන් හොඳටම හිනා.

 

අර දෙන්නත් ඉතින් හිනාවෙන්නෙ කොයිවෙලේදෝ කියල බලන් හිටියා වගෙ , මගේ හිනාවට එකතු වුනා.

එවෙලේ හිනා උනාට මොකද , දවසක් ඇර දවසක් සෝමා අක්කව සිංහල බෙහෙත් වලට එක්ක ගිහින් මගේ පර්ස් එක හොඳටම හිඳුනා.

 

"මොකටෙයි නෝනා බොරු කියන්නේ , අත කැඩුන වෙලේම සිංහල බෙහෙත් කරානම්  මෙලහට අත හොඳයි නෙ" . . සෝමා අක්ක කියනවා.

 

අනේ ඉතින් එහෙම කිව්වත් අන්තිමට වුනේ සිංහල බෙහෙත් කරලා මගේ පර්ස් එක හිඳිලා විතරක් නම් මදෑ , සෝමා අක්කගේ මැනික් කටුව ලඟින් අතෙත් ඇදයක් හිටියා.

 

ටික දවසක් ඔහොම ඉන්නකොට , සෝමා අක්කගේ පිටරට රස්සාවකට ගිය පුතෙක් නිවාඩුවකට ඇවිදින් මේ මනුස්සයා බෑ කියද්දිම අනේ ඈව ගෙදර එක්ක ගියා.

පුතා ටිකක් මටත් අමුතු තාලෙට කතා කරලා ගියේ , අම්මගේ අත කැඩෙව්වය , හරියකට බෙහෙතක් හේතක් කලෙත් නැත කියලා.

 

මම ඉතින් මුකුත් කියන්න ගියෙත් නෑ, සෝමා අක්කා දන්නවානේ වෙච්ච සංගෙදිය.

 

ඉතින් ඊට පස්සෙ , මමයි දුවයි තවත් කෙනෙක් හොයා ගත්තා අපේ තනි නොතනියට. එයා ආවෙ උඩරටින් , තනියම නෙවෙයි තරුන පහේ දුවෙකුත් එක්ක.

ඉතින් කොච්චරවාත් කට්ටිය ආව , ගියා ,සමහරුන්ව මතකයේ රැඳුන , සමහරුන් අපිට මතක හිටින පාඩම් කියල දීල ගියා.

 

නමුත් අපිට සෑහෙන කාලයක් යනකන් සෝමා අක්ක නැති පාඩුව දනුනා වගේම , ඈ අපේ හිත්වල කවදාවත්ම නොමැකෙන්න තාමත් රැඳිලා ඉන්නවා.

 

ඇය දැන් විවේක පාඩුව දරු මුනුබුරෝ සමග කල් ගත කරනවලු.

 

නිලූ සේනාධීර

01/12/2023


Comments

  1. මෙච්චර හිතවත් අය ජීවීතයට හම්බ වෙන එක එක්තරා විදිහකට වාසනාවක්.....සමහර වෙලාවට ඒ අයගෙන් වෙන් වෙන්න උනත් ඒක තමයි ලොක ස්භාවය..ප්‍රිය විප්‍රයෝගෝ දුක්ඛෝ....පොඩි කාලෙදිම මේක කියලා දුන්නේ ටිවී එකේ ගිය රොබින් හුඩ්...පලවෙනි රොබින් හුඩ් මැරුණ දවසේ ඉදන් දවස් කියක් කන්නෙත් නැතිව හිටියද....මතකයන් සැමදා තියෙවී.... නතින් ෆොගෙට්ස්...නතින් ෆොගෙට්ස් ෆො එවර්.... ඔබට හර්න් දෙවිදු පිහිටයි. - Mayya

    ReplyDelete
    Replies
    1. https://robinofsherwood.fandom.com/wiki/Michael_Praed
      පලවෙනි රොබින් හුඩ් ඉතාමත් කඩවසම් පුද්ගලයෙක්.

      Delete
    2. ඔබටත් හර්න් දෙවිඳු පිහිටයි මයියා. මටත් මතකයි කලු කොන්ඩෙ තිබුන රොබින්හූඩ්ට තමයි අපි වඩා කැමති වුනේ.

      Delete
  2. හ්ම්......අමුතුම තාලෙ කතාවක්. සෝම අක්කා අමුතුම චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති බස්සා, ඇය ඉතාම අහිංසක කාන්තාවක් , හ්ම් . හ්ම්

      Delete
  3. මිනිසත්කම පිරුනු මිනිසුන් හමුවීමත් වාසනාවක්. දැනෙන්න ලියලා.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුති දුමින්ද. බොහොම ස්තුතියි

      Delete
  4. විටෙක බරයි, ඒත් ජීවිතය ජීවත් කරවන්නේ ඒ බැඳීම් නේද?

    ReplyDelete
    Replies
    1. බැඳීම් තමයි මේ ලෝකේ පවත්වාගෙන යන්නේ. ස්තුති :)

      Delete
  5. මම ලියන කමෙන්ට්ස් වලට මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් මොකටද මංජුල අයියා ඔබේ ආශිර්වාදය තියෙනවානෙ. ඒ ඇති.

      Delete
  6. හරි ලස්සන දුක කතාවක්. සෝමා අක්කට සුවෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන හැමදාම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති සේපාලිකා මලට 😊

      Delete

Post a Comment

Popular Posts