(පින්තූරය අන්තර්ජාලයෙනි. එහි හිමිකම සිත්තරා සතුය)

 දෛවයේ සරදම්.

ලතිකා කුමාරි වලව් ඉස්තෝප්පුවේ සිංහ පුටුවේ වාඩිවෙලා දැන් පාර බලාගෙන පැය භාගයක් විතර. සිංහ පුටුව කිව්වේ පුටුවේ අත් , කකුල්,ඇඳි ,පතු ඔක්කොම සිංහ කැටයමින් අලංකාර කරලා තිබුන නිසා.

මේ අරුක්ගොඩ මහ වලව්වේ ගාම්භීර කම සෞභාග්‍යය කැටයම්, ලියකම් සහිත වඩිම්බු ගැසූ , කැටයම් වැද්දූ මහා කණු වලින් බර දරා සිටින සිංහල උලු හෙවිල්ලූ වහලිනුත් , මනාව නඩත්තු කල ඔස්ට්‍රේලියානු තණ පලසෙන් යුතු ගසෙන් ගස ඉතා සැලකිල්ලෙන් තෝරා ඒවාට නියමිත සුදුසුම තැන පැල කල මලින් , පලතුරෙන් බරවූ ගස් වැල් වලින්  හෙවන වුනු අක්කර භාගයකට පමන වුන වලව්වත්තෙනුත් , වලව්වත්තේ හතර මායිම පනින්නට අවසරය ඇති ඕනෑම කෙනෙකුට ඇස්පනාපිට දකින්නට ලැබුනා.

වලව්වට ඉදිරි පසින් ගොඩවෙන්නට අවසරය ලැබූ ඕනෑම කෙනෙකුට වලව්වේ ශ්‍රී විභූතිය එහි තබා ඇති මනරම් ගෘහභාන්ඩ වලින්ම මැනගන්නට පුලුවන්. අරුක්ගොඩ මහ වලව්ව එහි පෞරානික බව එලෙසින්ම රැකගනිමින් නවීන තාලයට අනුරූපව නඩත්තු කොට තිබුනේ එහි නිවැසියන්ගේ ධනවත්කම කැපී පෙනෙන අයුරින්.

ලතිකා කුමාරි පාර බලන් හිටියට , ඇත්තටම හිටියේ සියුම් නොඉවසිල්ලකින්.අද උදේ  කිරිහාමි උයන ගෙයි වැඩට අලුතින් එක්ක ගෙන කෙල්ල , සමන්මලී ඇගේ සිත නොසන්සුන් කර තිබුනා.

අනේ මැනිකේ මේ මගේ නගාගේ කෙල්ල, ඕකි ඉගෙන ගන්න හපනී, ඒත් ඉතින් මුන්නෙ අම්මට පැටව් අට දෙනෙක් නොවැ, පොත්පත්තොලට විය හියදං දරන්න මුන්නේ අප්පාට බැරිය කියන්නේ, මැනිකෙට කියාලා මේ උයන ගෙයි උදව්වට ගන්න බලාන්ට  මම මේකිට කියැව්වා වර යන්න මා එක්කාලා කියලා.

කෙල්ල දන දිගට කඩා හැලෙන කොන්ඩයකින්,ඇත් දල පැහැ සමකින්,යුතු වයස අවුරුදු දහ අටක විතර සුන්දර එකියක්.

ලතිකා කුමාරි ගෙ ඇස් විදුලි වේගයෙන් කෙල්ලගෙ ඇඟේ ඉහලට පහලට ගියා,

මොකක්ද නම කියැව්වෙ මේකිගෙ ?

සමන්මලී , මැනිකේ , කෙල්ල බොහොම යටහත් පහත්ව උත්තර දුන්න.

බොහොම අගේ ඇති නමක් නොවැ , හහ් , සමන්මලී ...., බොලැයි මහවුන්ට ඔයිට වැඩිය බරසාර නමක් තිබ්බෙම නැත උඹට නම් තියාන්න...

කිරිහාමියො , බොට කියන්නේ .. මේකිට මලී කියාපිය, උඹත් දැන් බැරි බැරි ගානෙ නිසා මේකි අත් උදව්වට කාරි නෑ. හැබැයි උඹේ ඇස් මානෙන්ම තියා ගනිං.ඔන්න මම නොකීවයි කියන්න එපා.

කෙල්ලව දැක්ක වෙලේ ඉඳන් ලතිකා කුමාරිගේ හිතට හරි නෑ. දැන් මේ ඇය වාඩිවෙලා ඉන්න පුටුවටත් කෙල්ල තණකොල පලසේ දමපු පැදුරක වී වනනවා පේනවා. උක්කුටියෙන් වාඩිවෙලා ඉන්න ඇගේ පුලුලුකුලත් , පාත්වී වී තුනී කරද්දී  පෙනෙන ඇගේ සුන්දර පියොයුරුත් , වී වනද්දී බිම ගෑවෙන නිල් ඝන කලු කෙස්වැටියත්, වාත්තු කලා වැනිවූ උල් නහයත් ,නිකටත්, පිරුනු තොල් සඟලත්, දිගු ඇස් පිහාටුත් ලතිකා කුමාරිට බොහෝ කලකට පෙර අමතක වූ කෙනෙක් මතක් කරනවා..

 ----------------------------------------------------------------

ලතියා....  ඈත අතීතයෙන් කවුරුදෝ අඬගහනවා ඇහෙනවා..

 ලතියා.. ඔව් ඇයත් මේ මලී වැනිමයි .. රූපයෙන් නම් මලීටත් වඩා ඉදිරියෙන්, දුප්පත්කමිනුත් එහෙමමයි.

පාරේ ගල් පාටියේ වැඩ කරන්න ලතියා අම්මා එක්ක ගියේ මලීටත් වඩා පොඩි වයසකදි. අවුරුදු පහලොවකින් වගේ. ගල් එක්ක ඔට්ටු වුනත් ඇගේ මල් වැනි අතපය සියුමැලි කම එහෙමම තියා ගත්තා, ඇය දිනෙන් දින රුවින් වැඩුනා.

පාටියේ ඉන්ජිනේරු මහත්තයගේ නෝනා හාමුගේ ඇහැ ගැටෙනකම්ම ලතියාගේ ජීවිතය එහෙමම ගල් පාටියටයි ,දුප්පත් පැලටයි ගෙවුනා.

නෝනා හාමු ලතියාගේ අම්මට මාසෙකට පඩියක් ගෙවන පොරොන්දුවට ලතියව කොලඹ ගෙනියන්න කතා කරගත්තේ නෝනා හාමුගේ දූ ගේ තනි නොතනියට කියලා. ලතියට නම් හිතුනේ බඩගින්නේ  හරි අම්මයි, නංගිලා දෙන්නයි එක්ක ගුලිවෙලා ඉන්න තිබුන නම් කියලා. ඒත් පඩි සල්ලි ගැන නෝනා හාමු කියන කොට දිලිසුන අම්මගේ ඇස් දැකල ලතිය තීරනය කලා නෝනා හාමු එක්ක කොලඹ යන්න.

අම්මවයි , නංගිලාවයි දාලා යනකොට නම් ලතියට දරා ගන්නම බැරි උනා. ඇගේ ඉකි බිඳිල්ල නෝනා හාමුගෙ කාරෙක කොලඹටත් ඇවිත් විසාල බංගලාවක් ඉස්සරහා නවතනකුනුත් නැවතුනේ නෑ.

නමුත් ඉතින් සාමාන්‍යයෙන් වෙන , වියයුතු ලෙසට ලතියත් අලුත් ජීවිතේට හුරුවුනා, මම නිසා අම්මලගේ ජීවිතේ පහසු වෙනවනේ කියන සිතුවිල්ල ඇයට දුක දරාගන්න උදව් කරා.

නෝනා හාමු අම්මට කිව්ව විදිහට නෙමෙයි අන්තිමේ ලතියා බේබි හාමුගේ තනි නොතනියට ඉන්න එක ඇර විසාල බංගලාවේ සියලු කටයුතු පහිනිපත් කරා. ඉව්වා , රෙදි හේදුවා,බංගලාව අස් පස් කරා.. අතු පතු ගෑවා. මහ ගෑනියක් වගේ මේ සියලු වැඩ කරත් ලතියගේ සුන්දරත්වයනම් දිනෙන් දින වැඩි දියුනු වුනා. . දුටුවන් පිනවන සුලු වුනා.

ලොකු හාමු කියන්නේ ඉංජිනේරු මහත්තයා නම් කොලඹට ආවේ ගියේ කලාතුරකින් .නෝනා හාමුත් බංගලාවේ වැඩ ටික හරියට වෙන නිසා ලතියට කරුනාවෙන් සැලකුවා.. චූටි හාමු කිව්වේ පරාක්‍රම බේබි ලතියට හරි කරුනාවයි , කිසිම වෙලාවක ලතියට ඇල්මකින් බැල්මකින්වත් වරදක් නෑ, නමුත් බේබි හාමු නම් උපන් ගෙයි යස්සනී වගේ..

ලතිය හැරුනත් වැරදියි.

ලතිය බැලුවත් වැරදියි

ලතිය කෑවත් වැරදියි

ලතියා මොනවා කරත් වැරදියි

ලතියෝ උඹ මගේ පව්ඩර් හොරකම් කරා නේද?

එහෙම නැත්නම්.. ලතියා මෙහෙ වර උඹ මගේ මේ ස්කිර්ට් එක ෆිට් ඕන් කරා නේද? ඔය වගේ බොරු චෝදනා ඕන තරම්.

ඇත්තම කතාව නම් බේබි හාමු ඉන්ද්‍රා ලතියාට ඉරිසියාවයි!

අම්මගෙන් ගමෙන් කියන්නෙ පැල්මඩුල්ලෙන් එන ලියුම් නිසා ලතියා ඉවසුවා. ලියුම් ලියන්නේ නංගිලා ,දැන් ලතියාගෙ පඩි සල්ලි නිසා උන් ඉස්කෝලෙත් යනවා.

ඉතින් ලතියට සතුටේ බෑ. ලතියට පුලුවන් යාන්තමට අකුරක් කියවාගන්නයි , ලියන්නයි විතරයි . ඒත් බොලේ මෙන්න නංගිලා දැන් ඉංගිරිසිත් ඉගෙනගන්නවලු . ඔක්කොම ඉතින් ලතියට පින්සිද්ද වෙන්න තමයි.

ලතියා දවසක් බංගලාවෙ පිලිකන්නේ පොල් අතු වගයක් අහිනවා. . ලතියට තේරුනා කවුරු හරි තමන් දිහා බලං ඉන්නවා වගේ හැඟීමක්. ගෑනුන්ට ඔවැනි කාරනා වලදි ඉවක් තියනවානේ. හනික හැරිලා බලද්දි චූටි  හාමුගේ යාලු මහත්තයෙක්  කන්න වගේ බලන් ඉන්නවා. මහත්තයා ඇස් මානපු දිහාව තේරුන ලතිය ඉක්මනින් හැට්ටේ කර උස්සා ගත්තා. ලතියා උඩු කයට හැට්ට කෑල්ලක් දා ගත්තට ඉන් යටට මුකුත්ම ඇඳ තිබුනේ නෑ. අර මහත්තයා ඔක්කොම දකින්නැති කියල හිතුනම ලතියගෙ කම්බුල් රතුවෙලා , කන් වලින් දුම් දානව වගේ දැනුනා. ලතිය පොලු අතුයි පිහියයි බිම දාල හනිකට බංගලාවෙ

 කුස්සියට දිව්ව.

එදයින් පස්සේ හැමදාම වගේ චූටි හාමුගෙ යාලු මහත්තයා බංගලාවට ආවා ගියා. හැමවිටම මහත්තයාගෙ ඇස් තමන් ලුහුබඳින වග ලතියට තේරුන. ලතියගෙ පපුවත් මත්තය දුටුවම ඩක් ගානව ඩික් ගානව වගේ වුනා .ඇඟ පුරා විදුලියක් දුවල කකුල් පන නැති වෙනව වාගෙ වෙනව. මහත්තැන්ට තේ දෙනකොට අතත් වෙව්ලනවා. නමුත් ලතියා මේ අලුත් හැඟීමට ආසා කරා. කවදවත් තමන්ට මෙහෙම දැනිල නෑනෙ කියලා හිතුනා.

 කොහොමින් කොහොම හරි චූටි  හාමුගෙ කතාවලින් ලතියා මහත්තයාගෙ නමත් අල්ලගත්තා.

සුදර්මන් . . අපෙ අප්පෝ හරිම අපූරු නමක් නොවැ. ලතියට හිතුන.

ඇඳුම් ගැන පෙනුම ගැන මෙලෝ සැලකිල්ලක් නොදක්වපු ලතියා දැන් තියෙන ඇඳුම් ටික වෙනදට වඩා පිලිවෙලට අඳිනවා, කොන්ඩෙ පීරල බැඳල සේපාලිකා මලක් හරි පිච්ච මලක් හරි ගහනවා. බේබි හාමුගෙ පව්ඩර් සුවඳ ගහන පිනිදිය දැන් නම් ලතියා ඇත්තටම හොරකම් කරනවා.

කවුරුවත් කීවොත් කතා වල තමයි මෙහෙම ලියැවෙන්නේ කියලා , මේකත් ඇත්තම කතාවක් තමයි. සමහර දේවල් තියනවා වෙන්නම ලියැවෙන. ඉතින් ලියන්නම වෙනවා.

අන්න දෛවෝපගත දවස උදාවුනේ විසාල බංගලාවේ

ලතියව විතරක් තනිකරලා. වෙන්නම ලියැවිලා තිබුන විදිහට ධාරානිපාත වැස්සේ බංගලාවේ දොරකඩ සුදර්මන් මහත්තයා එකපාරට පෙනීසිටියාම අසරණ ලතියාගෙ හුස්ම ටික නැවතුනේ නැතුවා විතරයි.

ගින්දරයි පුලුනුයි ලං උනාම ගිනි  ගන්නා එක අහන්නත් දෙයක්ද? , සුදර්මන් ලස්සන කෙල්ල ලතියාගේ සුන්දරත්වය තමන්ගේ ඇස් වලින් විඳ ගත්තා, සිනිඳු සිරුරේ සුවය,රස,පහස තමන්ගේ කරගත්තා. අවාසනාවට ලතියාට වෙච්ච දේ තේරෙන කොට වුනු දේවල් වෙලා ඉවරයි.

අනේ මහත්තයා. .  අසරණ මාව තනි කරන්න එපා කියමින් හඬා වැලපෙන්න විතරයි ලතියාට පුලුවන් වුනේ. සුදර්මනුත් ඇගේ හිත සනසන්න නොයෙක් දේ කිව්වා. ඇත්තටම සුදර්මන් මේ අහිංසක කෙල්ලට කැමතියි , ඇගෙන් ලැබූ සුවය ඔහුටත් නැවුම් අත්දැකීමක් වුනා. නමුත් තනි නොකිරීමට පොරොන්දු වෙන්න තරම් ඔහු බොලඳ වුනේ නෑ.ඔහු දැන සිටියා පවුලේ එකම පුතු වූ තමාට පරපුරෙන් පැවරී ඇති වගකීම.

කොහොමත් නෝනා හාමු උදේ වරුවට බංගලාවේ රැඳුනෙම නැති තරම්.බේබි හාමු ඔය කේක් පංතියි පියානෝ ගහන්න ඉගෙන ගන්නයි යනවා. චූටි හාමු ක්‍රිකට් ගහන්න ඔය මොකක්දෝ සමාජෙකට බැඳිලානේ ඉතින් කොයි වෙලෙත් පිත්තයි බෝලෙයි අරං යනවා , එන්නේ රෑට රෑ වෙලා. බොහෝ විට බංගලාවේ ලතියා තනි වෙනවා. . ඉස්සර මේ තනි විල්ලට ලතියා අකමැති උනත් දැන්නම් බලන් ඉන්නේ කොයි වෙලේදෝ තනියම ඉන්නේ කියලා. තනියම කිව්වට තනියම නෙවේ ඉතින් තනිය මකන්න එන කෙනා එක්ක.

සුදර්මන් එක්ක තනිවෙන එක, පෙම් සුව විඳින එක ලතියගෙ ජීවිතේ ප්‍රියතම කර්තව්‍ය වෙනකොට වෙන්න ඕන ඒවා ඔක්කොම වෙනවා. එහෙම තමයි ලියැවිලා තිබුනේ.

එදා තමයි ලතියා අම්ම කෙනෙක් වෙලා සුදර්මන් තාත්තා කෙනෙක් වෙන්න යන බව ලතියා සුදර්මන් කියූ දවස. ලතියගේ හිතේ ගැස්මක් තිබ්බා තමයි සුදර්මන් මේක කොහොම පිලිගනීද කියලා. නමුත් කතාව අහපු සුදර්මන්ගෙ හිතේ ඇතිවුන ගැස්ම තරම් නම් නෙමෙයි.

සුදර්මන් දැනගන හිටියා මේ ගෙවෙන්නේ තමන් කොලඹ ගතකරන අවසන් දින කීපය බව, තමන්ට තව දින කීපෙකින් එංගලන්තය බලා වැඩිදුර ඉගෙනගන්න යන්න වෙන බව. වගේම එංගලන්තේ ඉඳන් ආපු ගමං වත්සලා මැනිකේව කැන්දන් එන්න වෙන බව. වත්සලා මැනිකේ සුදර්මන්ගේ ලොකු නැන්දම්මාගේ එකම දුව. පවුලේ දේපොල පිට නොයන්නනේ මේ විවාහය මේ දෙන්නා පොඩි කාලේදීම පවුලේ වැඩිහිටියෝ සම්මත කරගෙන තිබුනේ.

ඉතින් සුදර්මන්ට හරිම කනගාටුයි මේ වුන දේට ,

ෂි ...මා අතින් වස වැරද්දක් වුනේ ..ෂි ...මා අතින් වස වැරද්දක් වුනේ  සුදර්මන් කීපවාරයක්  හිතින් හිතුවත් කීවේ නැහැ ලතියාට.

සුදර්මන්ට මේ වෙලාවේ තිබුන එකම උවමනාව මේ කරදරයෙන් තමන්ගේ නම සුද්ද කර ගන්න එක.

ලතිය මේ අහපං, කිසිම කෙනෙකුට , මම කියන්නේ කිසිම කෙනෙකුට මේ බව කියන්න එපා. මගේ නම කිසිම කෙනෙකුට කියන්න බෑ හොඳේ. මම උඹව අතරමං කරන්නෙ නෑ.හැබැයි මගේ නම නොකිව්වොත් තමයි .

සුදර්මන් කියාගෙන කියාගෙන ගියේ ආවේගයෙන් ලතියාගෙ උරිස්සෙන් හොලවමින්. ඉතින් ලතියා , අනේ අසරණ ලතියා හඬා වැලපෙමින් උනත් පොරුන්දු වුනා සුදර්මන් ගෙ නම මේ කිසිවකට නොගාවන බවට,

එදායින් එදාමයි ලතියා ආයේ කවමදාවත් සුදර්මන් දැක්කෙ නැහැලතියා කොපමන දවසක් දෑස් දල්වා බලා හිටියත් ඔහු ආවේ නැහැ. කවම කවදාවත්ම.

ආදරයයි කැස්සයි හැංගුවත් කොහොමද දිනෙන් දින මෝරා එන කුසක් හංගන්නේ. ලතිය කෑම කන්න තියා සුවඳ වත් දරන්න බැරි උනා. වැඩ පල කරගන්න අමාරු උනා. ලස්සන මූන කට සුදුමැලි වෙලා පිපිහලු උනා.ප්‍රියජනක හිනා පිරුනු දෑසේ කඳුලු පිරී තිබුනා.

ලතියගෙ මේ වෙනස මුලින්ම ඉව වැටුනේ නෝනා හාමුගේ පලපුරුදු දෑසට. ඉන්පස්සේ ලතියට ලැබුනු අවලාද ගුටි බැට නිමක් නෑ. නොමරා මැරුවා විතරයි. නෝනා හාමු හිතුවෙම මේ අපරාදෙට වග කියන්න ඕන චූටි හාමු කියලා. මොකද ලතියා මොන තරම් ගුටි බැට කෑවත් මේ දරුවගේ පියා ගැන වචනයක්වත් නොකියපු නිසා ,ඇය බයවුනා ලතියා ඇගේ සැකය තහරුවු කලොත් වෙන විනාසේ ගැන. නිසා ලතියාගෙන් ඉක්මනට නිදහස් වෙන්නයි නෝනා හාමුට ඕන උනේ.

දවසක් නෝනා හාමු ලතියාට පරන සූට්කේස් කබලක් දීලා කිව්වා ඇගේ තියන සබ්බ සකලමනාව ඒකට අහුරගන්න කියලා.යන්නෙ කොහෙද කියලවත් නොකියා ලතියව කාරෙකට ඇදගෙන ගිය නෝනා හාමු රථය බංගලාවේ සීමා මායිම් වලින් ඈතට පදවන් ගියා.. පිටිපස වීදුරුවෙන් ආපසු හැරී බැලූ ලතියා දුටුවේ පිටවීවන රථය දෙස දුකින් බලා සිටිනා චූටි හාමුයි. බංගලාවේ අසරණ ලතියාට අනුකම්පාවක් දැක්වූ එකම මිනිස් ප්‍රාණියා ඔහුයි.ඉතින් ලතියාගෙ ජීවිතේ තවත් එක් පරිඡ්චේදයක් මෙසේ නිමවුනා.

නෝනා හාමුගේ රථය නගර පුරවර පසු කරමින් මහා විසාල බංගලාවක් ඉදිරිපිට නවත්තනකං ලතියා හිටියේ අන්දමන්ද ස්වභාවයෙන්. මොකද වුනේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න ඈට බැහැ. රථයෙන් බට ඔවුන් ඉදිරියට පැමිනියේ මඳක් වියපත් නමුත් පෞර්ශයෙන් අගතැන්පත් පියකරු කාන්තාවක්. ඔසරියකින් සැරසී, ඉතා අලංකාර අභරනාදියෙන් සැරසී සිටි  ඇගෙන් උසස් වංශවත් බව ඉස්මතුවී පෙනුනා.

නෝනා හාමුවත්  ලතියා වත් හොඳින් පිලිගත් ඇය ලතියා රැගෙන බංගලාවේ ඇතුලට ගියා. ඇතුලට ගිය ලතියා දුටුවේ ඇය වැනිම වූ කාන්තාවන් , බඩ දරු කාන්තාවන් , කුඩා දරුවන් ඇකයේ හොවාගත් කාන්තාවන්, අඬන දරුවන් නලවන , කවන පොවන, නිදි කරවන කාන්තාවන්. ලතියා පසුව දැනගත් පරිදි මේ අසරණ වූ කාන්තාවන්ට රැකවරණ සලසන මන්දිරයක්. මෙහි වැඩි පිරිස වැනිම වූ පියෙකු නොමැති දරුවන් කුස දරාගත් කාන්තාවන්. ඉතා කුඩා වයස් වල සිට මැදි වයස තෙක් අසරණ වූ වීදි සරන්නියන්ගේ සිට ඉතා ඉහල පවුල් වලට අයත් අසරණ ගැහැණු.

ලතියා ඉතා ඉක්මණින් මේ අලුත් පරිසරයට හැඩගැසුනා. මේ පරිසරයට ඇය ප්‍රියකලා. මෙහි බොහෝ කාන්තාවන් ඇය හා මිතුරු වුනා. ඔවුන් එකිනෙකාට උදව් උපකාර කරගත්තා. මේ පරිසරයේ ඔවුන් හැමෝම ඔවුන් පැමිනි පවුල් පසුබිම් නොතකා එකම අවාසනාවන්ත ඉරණමක කොටස් කාරයෝ වුනා.

ලතියාව වඩාත්ම ප්‍රියකලේ මේ මහා මන්දිරයේ හිමිකාරිය වූ ලොකු හාමු නමින් සැවොම හැඳින්වූ කාන්තාව. ලතියාගේ පිරිසිදු , පිලිවෙල වැඩත් , පියකරු පෙනුමත් , විනීත ඉරියව් කතා බහත් මේ  ලොකු නෝනා හාමුගේ හිත ගත්තා , එනිසා ඇය ලතියාට විශේෂ සැලකිල්ලක් දැක්වූවා.

කාලය ඉක්මනින් ගෙවුනා.එක සුන්දර සඳුදාවක උදයේ ලතියා රන්වන් සමින්, ඝන කලු කැරලි කොන්ඩයකින් සහ වටකුරු දෑසකින් යුතු රෝස මලක් වැනි පුතෙකුට උපත ලබා දුන්නා. මවත් පුතත් ඉතාම නිරෝගි සුවෙන්. මේ උපතත් සමඟම ලතියාටත් බිලිඳු පුතාටත් මන්දිරයේ අන් කාන්තාවන් වෙසෙන කොටසින් වෙන්ව , ලොකු හාමු සිය දැසිදැස්සන් හා වෙසෙන කොටසට උසස් වීමක් ලැබුනා. පුතු පැටියාගේ පින , ලතියා සිතුවා.

පුතාට ලතියා සඳරුවන් යයි නම් තැබුවා. සුදර්මන් ගේ අනුරුවක් වැනිවූ පුතු නිරෝගී ,මවගේ නොමඳ ආදරයට ලක්වෙමින් ,ගුණෙන්ද, නුවණින්ද වැඩුනා. හැමෝම මේ දරුවාටත් මවටත් ආදරය කලා. ලතියා දැන් හැමෝම කතා කරන්නේ ලතා කියලා, මෙහෙම කතා කරන්න පටන් ගත්තේ ලොකු නෝනා හාමුයි. මංදිරයේ නිවැසි අනෙකුත් කාන්තාවනුත් ලොකු නෝනා හාමු අනුව යමින් ලතියා සැලකිල්ලක් දැක්වුවා.ලතියා දැන් ලොකු නෝනා හාමුගේ කෑම බීමඇඳුම් , බෙහෙත් හේත් පිලියල කරන ඇගේ සමීපතම සේවිකාව වගේ.

පුතාට අවුරුදු තුනක් පමන වුනා. ඉතාම හුරුබුහුටි බුද්ධිමත් දරුවෙක්.

එක්තරා දවසක ලතියා ලොකු නෝනා හාමුගේ කෑම බීම ගැන කෝකියට උපදෙස් දීලා එනවිට ,සඳරුවන් සුදු යුවලක් තුරුලේ ඉන්නවා දුටුවා. සුදු ජාතිකයන් මේ මංදිරයේ නිතර ගැවසෙන එකවත් , ඔවුන් සඳරුවන් හුරතල් කිරීමත් ලතියාට ඉතාම සාමාන්‍ය දෙයක් වුවත්, මේ දසුන නම් ඇගේ සිත්ගත්තේ නෑ.

අනියත බියක් ලතියාට දැනුනා. ලොකු හාමු නෝනාගේ කැඳවීමක් සමගම ලැබුනාම ඇගේ බය තවත් තීව්‍ර උනා. ඇගේ සැකය සනාථ කරමින් ලොකු නෝනා හාමු කීව දෙයින් ලතියාගේ කකුල් පන නැති උනා. සුදු යුවල ලතියාටත් ලොකු නෝනා හාමුටත් විසාල මුදලක් දී සඳරුවන් දරුකමට හදාගැනීමට ඉල්ලා තිබුනා.

 හිතාපන් දරුවා ගැන , ලමයගේ ජීවිතේ කොච්චර යහපත් වෙයිද වගේ දෙමාපියො ලැබුනම. ලමයට අවුරුදු පහ ලැබුවම කොහොමත් මෙහේ ඉන්න බැහැනේ. උඹට ලතා මුදලින් උඹේ ඉදිරි ජීවතය ලස්සනට ගොඩ නගාගන්නත් පුලුවන්නේ. සල්ලි අරන් පලයං ගමට,ගිහින් කසාදයක් එහෙම බැඳලා ලස්සනට ජීවත් වෙයං.

 අනේ බැහැ ලොකු නෝනා හාමු ,මගේ දරුවා මගේ පණ. මම දෙන්නෑ මගේ දරුවව කිසි කෙනෙකුට. ලතියා කෑ ගසමින් විලාප දුන්නා.

 නමුත් ඉතින් එහෙම වුනාට වැඩක් වුනාද ? නෑනේ. ලොකු නෝනා හාමුට උවමනා විදිහට තමයි හැමදේම සිද්ද වුනේ. සුදු ජෝඩුව හැමදාම ආවා සඳරුවන් බලන්න. සඳරුවනුත් දෙන්නාට බොහොම කිට්ටු වෙනවා දැකලා ලතියාගෙ හිත දුකින් බරවුනා.

ලතියාට තේරුනා තවත් මේ මංදිරේ හිටියොත් ඇගේ ජීවිතේ වටිනාම වස්තුව ඇයට අහිමි වන බව. ඉක්මන් තීරනයක් ගත යුතුව තිබුනා. ලතියා දහ අතේ කල්පනා කලා, මොකද කරන්නේ ... මොකද කරන්නේ ..

 ලතියාට එකපාරටම මතක් උනා රවිකුමාරව. රවිකුමාර අම්පාර පැත්තේ ඉඳන් ලඟදි ලොකු නෝනා හාමු ලඟ වැඩට ආපු රියැදුරා. ආපු දවසේ ඉඳන්ම ලතියා ගැන ලොකු සැලකිල්ලක් දැක්වුවා. ලතියාවත් දරුවාවත් බාර ගන්න කීපවිටකදීම අහලා තිබුනා. නමුත් වරක් ගිනි පෑගූ ලතියා මෙවර ගිනි පෙනෙල්ලටත් බය වුනා. ඒනිසා ලතියා රවිකුමාර ගේ යෝජනාව සිනාවකින් ඉවත දැම්මා. නමුත් දැන්නම් ලතියාට පෙනෙන හොඳම විසඳුම රවිකුමාර.

 අවලංගු කාසියක් වෙච්ච මට තවත් මොනවා කියලා වෙන්නද මගේ දෙයියනේ. මගේ දරුවව මට ලැබුනොත් ඒ ඔක්කොම මට උහුලතෑකි. ලතියා හිතුවා.

ලතියායි රවියි සඳරුවන් අරගෙන මංදිරයෙන්  පැනල ආවෙ අන්තිමට බංගලාවේ නෝනා හාමුගේ දුරින් නෑදෑ වෙන නෝනා කෙනෙක් ගෙ ගෙදරට. ගෙදර මිනිස්සු ලතියාට බංගලාවේ ඉන්දැද්දිත් ආදරය, අනුකම්පා කරපු අය. ලතියාගෙ මුලු කතාවම ඇහුවට පස්සේ අනේ මිනිස්සු ලතියාටයි දරුවටයි අනුකම්පා කරලා ඒගොල්ලන්ගෙ විසාල ගෙදර කාමරයක් දුන්නා ජීවත් වෙන්න. මේක කාමරයක් කිව්වට ඇත්තටම පරන ගබඩා කාමරයක්. අස් පස් කරලා , නෝනා දුන්න ඇඳ කබලයි , මේසයයි, හැලි වලන් , පිඟන් කෝප්ප ටිකයි තියාගත්තම ඉතින් මේ කාමරය යාන්තම් ජීවත් වෙන්න සුදුසු තැනක් උනා.

ලතියාගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් මෙසේ ඇරඹුනා.

ලතියාට ජීවිතේ ලේසි පාසු උනේ නෑ. රවිට අලුතින් රැකියාවක් හොයාගන්න වුනා.ලැබුන පඩිය යාන්තම් තුන් දෙනාට කෑමට බීමට විතරක් සෑහුනා. රවී සඳරුවන්ට වෙනසක් නොකලත්,ආදරය කලෙත් නෑ. නමුත් ලතියාගේ නොමද ආදරය මැද සඳරුවන් සඳක් සේ වැඩුනා.

ලතියා ජීවිතේ ගැටගහගන්න නොකරපු දෙයක් නෑ. කඩවලට කෑම හදලා දැම්මා, ගෙවල් වල උයන්න , පිරිසිදු කරන්න ගියා. බෙහෙත් කඩවලට කලාඳුරු අල පවා සැපයුවා. ලතියා ජීවත් වුන විසාල ගෙදර වත්ත කලාඳුරු පිරිලා තිබුනා. පොඩි සඳරුවන් මේ හැම වැඩකටම පොඩි පොඩි අත් උදව් දුන්නා. ජීවිතේ සතුටු සාගරයක් නොවුනත් ලතියටයි , දරුවටයි කරදරයක් නැතිව ජීවත් වෙන්න ලැබුනා. රවිත් නරක මිනිහෙක් උනේ නෑ. ගෙදර හිටපු බබාල තුන් දෙනත් සඳරුවන් සමග මිතුරු වුනා.

ගෙදර නෝනාගේ උදව්වෙන් ලතියා කොහොම හරි සඳරුවන් ගෙවල් ලඟ පාත ඉස්කෝලෙකට දා ගත්තා. ලතියට හරිම සතුටුයි ඇයට නොලැබුන අධ්‍යාපනය දරුවට දෙන්න පුලුවන් වුන එකට.

ජීවිතේ මෙහෙම ගලාගන ගියා, නැවතත් එක්තරා අඳුරු දවසක් නැවත ලතියාගේ ජීවිතේ උඩු යටිකුරු කරන තෙක්. දවසේ උදේ වැඩට ගිය රවී නැවත ගෙදර පැමිනියේ නෑ. ලතියා කොපමන උත්සාහ කරත් ඔහු ගැන කිසිම ආරංචියක් ලබුනේ නෑ. ඔහු නැති උනාටත් වඩා ලතියාට දුක ඔහුට කරදරයක් කියන එක.

කොහේ හරි හොඳින් හිටියොත් ඇති , මට මගේ ජීවිතේ උදව් කල එකම මිනිහා.. ලතියා රවී ගැන හිතුවේ එහෙමයි.

නමුත් ලතියා ඇගේ හිත හදාගත්තා. බොහෝ දහිරිය සම්පන්න ගෑනු එහෙමයි. ලෝකේ කඩන් වැටුනත් තමන්ගේ ගමන යනවා.

ලතියා වෙනදටත් වඩා මහන්සියෙන් වැඩ කලා. ගෙදර නෝනා , මහත්තයා , ලමයි වෙනදටත් වඩා කරුනාවෙන් ලතියටයි , දරුවටයි සැලකුවා. අනේ  ඉතින් සතපහක් වත් ලතියගෙන් නොගෙන මෙච්චර අවුරුදු ගානක් ඉන්න හිටින්න දුන්න එකම මදැයි .

 

එක දවසක් ඉස්කෝලේ ඉඳන් ආපු සඳරුවන් කියපු දෙයකින් ලතියාගේ හිත ආයෙත් සසල වුනා. ලස්සනට ඇඳ පැලඳපු නෝනා කෙනෙක් සඳරුවන් බලන්න ඉස්කෝලෙට ආවලු.

දෙයියනේ ලොකු නෝනා හාමු ආයෙත් මගේ ලමයා කාටවත් දෙන්න හොයාගෙන ඇවිල්ලද ? ලතියාට හීන් දාඩිය දැම්ම.

ලතියා ඉස්කොලේට ගිහින් ප්‍රින්සිපල් මහත්තායගෙන් මේ ගැන විමසුවේ, එහෙම කොහොමද ඉස්කෝලේ ලමයි ඉස්කෝලේ වෙලාවේ පිට මිනිස්සු මුනගැහෙන්නේ , ලමයි ඉස්කෝලෙ ආවම ප්‍රින්සිපල්ගේ වගකීම නෙ කියලා ගෙදර නෝනා ලතියාව දිරිමත් කරපු නිසා.

නෝනා මහා දානපතිනියක්, මේ ඉස්කෝලෙට ආධාර කරන්නයි ආවෙ, නමුත් සඳරුවන් ගැන තමයි ඇහුවෙ , ඉතින් මට දරුවව පෙන්නන්න වුනා, දරුවා දැකල බදාගෙන ආදරය දැක්වුවේ. පුදුමේ කියන්නේ මේ දරුවව දරුකමට හදාගන්නත් ඇහුවනේලතෝ. ප්‍රින්සිපල් මහත්තයා එහෙම කිව්වම ලතියාට පුදුම තරහක් ආවේ.

ඇයි හත් දෙය්යනේ මේකෙ  වුන්ට මගේ දරුව හැර වෙන එකෙක් නැද්ද දරුකමට , මගේ අහිංසකයවම හොයන්නේ.

ප්‍රින්සිපල්  මහත්තයෝ , ඔන්න කිව්වා ආයෙත් ඔය අම්මන්ඩි ආවොත් එහෙම මගේ දරුවාව එහෙම පෙන්නනවා නෙවේ ඕං. ලතියා ප්‍රින්සිපල් ටත් පොඩි තර්ජනයක් දැම්මා.

ලතියා බොහොම විමසිල්ලෙන් හිටියත් , බයෙන් හිටියත් ඉන්පස්සේ කාන්තාව 

ගැන කිසිම කිසිම තොරතුරක් නැතුව  මාස ගානක් ගෙවිලා ගියා.ඉන් පස්සෙ ලතියාගෙයි සඳරුවන්ගෙයි ජීවිතෙ ආයෙත් සාමාන්‍ය වුනා.

ලතියාට ඒ දවසේ කිසිම විශේෂත්වයක් තිබුනේ නෑ. නමුත් එදා වෙන්න ලියැවිලා තිබුන දේවල් ඒ විදිහට  වෙන ඒ  දෛවෝපගත දවස. ලතියාගෙත්, සඳරුවන්ගෙත් ජීවිත  සැබෑ ලෙසම වෙනස් කරන ලෙසට ලියැවී තිබුන විදිහට අති නවීන කාරයකින් බැහපු ඉතා කඩවසම් පුද්ගලයෙක් , පාසැල ඇරිලා යාලුවෝ සමග පාර අයිනට වෙලා එන සඳරුවන්ගෙන් ,

පුතා ඔයාගෙ නම සඳරුවන්ද , කියල ඇහුවා. සඳරුවන් ඔව් මහත්තයා කියල කිව්ව.

ඉතින් එච්චරයි , මහත්තයා මේ පාර කියලවත් හිතන්නෙ නැතිව සඳරුවන් බදාගෙන ඉකිබිඳින්න ගත්තා. සඳරුවන් හිතා ගන්න බෑ මේ කවුද , මේ මොනවද වෙන්නේ කියලා..

නමුත් මෙන්න ටික වෙලාවකින් සඳරුවන් මේ මහත්තයාගේ කාර් එකේ නැගලා ගෙදර යනවා..

සමහර බැඳීම් තියෙනවනේ නමින් නොකීවාට හදවතට දැනෙන, නේද ?

සඳරුවනුයි , මහත්තයයි ගෙදර යනකොට ලතියා පිටිපස්ස වත්තේ බර වැඩක්.

ගෙදර නෝනා එලියේ හිටපු නිසා එයා මේ මහත්තයා එයාට ඔක්කොම විස්තර කිව්වා. නෝනා මොකද කරන්නේ මහත්තයාට වාඩි වෙන්න කියලා බොහොම ප්‍රීතියෙන් , කලබලෙන් දුව ගිහින් ලතියාට කිව්ව ..

අනේ ලතියෝ ඔන්න පොඩ්ඩක් මූන කට හෝදන් රසට තේ එකක් හදන් එන්නකෝ , මගේ මේ යාලුවෙක් ඇවිත් , මම කතා කරන්න යනවා

ලතියත් ඉතින් අනේ විදිහට පොඩ්ඩක් ලක ලෑස්ති වෙලා තේ එකකුත් හදන් සාලෙට යනකොට නෝනා නම් නෑ , ඒත් මෙන්න සඳරුවන්ව තුරුල් කරගෙන විස්තර අහන මහත්තයෙක් නම් ඉන්නවා.

මහත්තයා කව්ද කියලා දැක්ක ගමන් ලතියා ගෙ අතින් තේ බන්දේසිය බිම වැටෙනවා. මුලු ලෝකෙම කලුවර වෙලා කං ඇතුලින් හෝ හෝ ගානවා.

ඊලඟ මොහෙතේ ලතියාට සිහිය එනකොට ඇය අර මහත්තයාගේ තුරුලේ, සඳරුවන් මේ දෙන්නාවම බදාගෙන , හරියට බයිස්කෝප් එකක දර්ශනයක් වගේ.

මේ මහත්තයා ඉතින් පිටරට ගිය සුදර්මන් මිසක් වෙන කවුද? ලතියා තමන්ගේ දුකට , කේන්තියට ටිකක් හඬා වැලපුනාට මොකෝ මේ තුන් දෙනාව දැකපු ඕනම කෙනෙකුට ඇඬෙනවා සතුටට. තුන් දෙනාම රූපයෙන් බොහොම ප්‍රියජනකයි , හරියට එකිනෙකාට ගැලපෙන්න මහා බ්‍රහ්මයා මවලා වගේ .

මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද ? නමුත් සුදර්මන් මේ ගෙදර නෝනාට කියපු විදිහට ඔහු විවාහ උන නෑනන්ඩි වත්සලා කුමාරිහාමි දරුවෝ නෑ. අර සඳරුවන් බලන්න ඉස්කෝලෙට ආවෙ තමා. පරම්පරාවෙ නම ගෙනියන්න ලමයෙක් ඕන උන නිසාත් , වත්සලාට සුදර්මන්ට දරුවා දෙන්න හැකියාවක් නොතිබුන නිසාත් සුදර්මන්ගෙන් නීතියෙන් වෙන් වෙලා වැඩිදුර ඉගෙනගන්න කියලා රට යනවා. සුදර්මන් ලතියා ගැන වත්සලාට කියා තිබූ නිසා තමයි රට යන්න පෙර සඳරුවන් ගැන විස්තර හොයලා සුදර්මන් දෙන්නේ. වත්සලා කියන්නේ තමන්ට නොලැබුන සතුට කවදාවත් නොදුටු ගෑනියකට සහ ඇගේ දරුවාට උරුම කරලා තම දෛවය සතුටු සිතින් භාරගත් උතුම් ගැහැනියක්.

 ------------------------------------------------------

සුදර්මන් තමන්ගේ දරුවත් ඔහුගේ මවත් එදා ඔහුගේ අති අලංකාර රථයෙන් බොහොම ආඩම්බරයෙන් එක්ක ගියේ ඔහුගේ විසාල වලව්වට. ඉතින් කොහොමද අපේ ලතියා ලතිකා සඳකුමාරි මැණිකේ වුනේ ..

සුදර්මන් නීතියෙන් විවාහ කරගනිද්දි දුන්න නම. ලතියගෙත් සඳරුවන්ගෙත් නම් සුදර්මන්ගේ කුල ගොත් එක්ක වෙනස් වුනා.සඳරුවන් දැන් සඳරුවන් කැලුම්ශ්‍රී අරුක්ගොඩ. ලතිකා කුමාරි ගෙන් සුදර්මන් සිය දහස් වාරයක් සමාව ඉල්ලන්න ඇති ඇයව දාලා යන්න ගියාට , ඔහු එහෙම කලේ ඇයට ආදරය නැතුවාට නොවේ , නමුත් පරම්පරාවේ සිරිත් රකින්න වුන නිසා බව කියමින්. නමුත් තමන්ගේ පුතාට පිය උරුමය දුන් මේ සෙනෙහෙවන්ත මිනිසා ගැන ලතිකා කුමාරිගේ හිතේ කිසිම කහටක් ,කැලලක් තිබුනේ නෑ. එදා වාගේම පිරිසිදු ආදරයම මිස. ඔවුන්ගේ ආදර කතාව අවුරුදු කීපයක් පමාවී හෝ භාධාවකින් තොරව ඇරඹුනා..

දැන් ඔවුන් විවාහා වී අවුරුදු ගණනාවක් , සඳරුවන් දැන් ඉතාමත් කඩවසම් දක්ශ  තරුණ නීතීඥ්ඥ වරයෙක්. ඔහු තම පියා හා ඔවුන්ගේම නීතිඥ්ඥ සමාගමක වැඩ.

ලතිකා කුමාරි මේ පාර බලන් ඉන්නෙ පියත්, පුතත් පංසලට ගිහින් එනතෙක්.

හදිසියේම යමක් මතක් වූවා සේ වාඩිවී සිටි සිංහ පුටුවෙන් නැගිටගත් ලතිකා කුමාරි ඉක්මන් ගමනින් උයනගෙට ගියා.

 කිරි හාමියි, අර කෙල්ල සමන්මලියි බරටම වැඩ. මැනිකේ දුටු ඔවුන් කරමින් සිටි වැඩේ නවත්වා ගරුසරුව  නැගී හිටියා.

සමන්මලී , කෙල්ලෙ , උඹ ආයෙත් ඉස්කෝලෙ පලයං, උඹට ඉස්කෝලෙට විතරක් නෙමේ විස්සවිද්ද්‍යාලෙ උනත් මම වියදම් කරන්නම්. මේ වලව්වේ වැඩට ඔය ඕනතරම් මහ ගෑනු ඉන්නේ. උඹ ඉගෙනීමට හපන් එකේ ඉහලටම ඉගෙනගනින්  කෙල්ලේ.. උඹවත් උඹෙ අසරණ පවුල ගොඩදාපං.

ලතිකා කුමාරි , සමන්මලී ගේ හිස අතගාමින් පැවසුවෙත් , සමන්මලී ඇගේ දෙකකුල් මත වැඳ වැටී හඬා වැලපුනෙත් එක මොහෙතෙමයි.

දෙවුරෙන් අල්ලා නැගිටින ගමන් ලතිකා කුමාරි , මං විඳි දුකම උරුමවුන අසරණ එකියක් එදුකින් ගලවාගත්තෙමි සිතමින් ඇස නැගි කඳුලක් හෙමින් පිහිදාගත්තා.

 

නිලූ සේනාධීර

25.11.23

Comments

  1. ලස්සන කථාවක් .....බොහොම ස්තූතියි -Mayya - http://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. කතාව ලස්සනට, දිගට ලියලා තියනවා. ඒත් "ටූ ගුඩ් ටු බී-ට්-රූට්" කියලත් හිතුනෙ නැත්තෙමත් නෑ. එක්කො ඒ විවේචනය අයින් කරල දාන්න. මෙච්චර මහන්සි වෙලා ලියන එකේ, දැම්ම උදැල්ල දාන එක නරකයි නෙව?

    ReplyDelete
    Replies
    1. විවේචනය ස්තුති පූර්වකව භාරගන්නව. නමුත් මම කිව්වොත් මේ කතාවේ අර විසාල ගෙදර ලමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක් මම කියලා. ඔයා විස්වාස කරයිද ? නම් ගම් සහ කතාවේ සමහර අවස්තා මනංකල්පිතයි, නමුත් කතාවේ අරටුව ඇත්ත කතාවක්.

      Delete
    2. මයෙ කිරි අත්තේ! එහෙමත් එකක්ද? මම හිතුවෙම මේක හිතලා ලිව්ව කතාවල් කියලයි.😮🤭

      Delete
  3. ඇස් කෙවෙණි තෙත් කරවන කථාවක්!
    ඇත්තටම ලෝකය මෙසේ වනවා නම් කොයිතරම් නම් සුන්දරද?
    ලියන්න දිගටම.
    ජීවිතය; ලිවීම කරගන්න!

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ හොඳ තවමත් මේ ලෝකේ ඉතිරිවෙලා තියෙන බවයි මගේ විස්වාසය. මම කැමතියි හැමදේකම හොඳ පැත්ත දකින්න. මිනිස්සුන්ගේ හොඳ පැත්ත විතරක් දකින්න. හැමදාම වගේ මාව දිරිගන්නනවාට බොහොම ස්තිතුයි මංජුල අයියා.

      Delete

Post a Comment

Popular Posts