කූඹියනි මේ අහපල්ලා...


මට තාමත් අම්මා නැති අඩුව තදින්ම දැනෙනවා. සමහර වෙලාවට හිත  හිටියත් හදාගෙන, මේ ජීවිතයේ ස්වභාවයනේ ඉපදෙන අපි හැමෝම මැරෙන එක නියත දහමනේ කියලා, සමහර විටෙක ඒ හිතම හඬා වැලපෙනවා. මම කිව්වට මගේ බ්ලොගයෙන් අපි කතා කරන්නේ සතුටු දේවල් විතරයි කියලා, අද මට මගේ දුක ඔබ සමග බෙදා ගැනීම කරන්නම ඕන වුනා. අද මට මගේ අම්මාව මතක් වෙනවා හරියට. 

ඇගේ අසනීපය දැනගත්ත වෙලේ සිට මම ඇය ලඟම හිටියත් , දිනෙන් දින දුර්වල වෙන අම්මව දැක දැක හිත ශක්තිමත් කරගෙන ඉන්න එක ලේසි උනේ නෑ. අන්තිම දවස් වල අම්මා හුස්ම ගත්තා විතරයි, ඇහැක් වත් ඇරියේ නෑ. අන්තිමට ඇඳට කූඹිත් ආවා, කොච්චර පිරිසිදු කරත් , අනේ ඉතින් අපි නොදන්නවා උනාට එහෙම වෙනවලු කෙනෙක් ගෙ ජීවිතේ අන්තිම දින කීපයේදි. ඉතින් ඒ වෙලාවේ මට දැනුන හැඟීම යි මේ..

------------------------------------------------------------------

අනේ කූඹියනි කන්න එපා

අතපය අවසඟව

අසරනයව ඔහේ ඇඳේ වැතිර

අදද හෙටද කියා නැති

මගේ ආදර අම්මාව කන්න එපා


මුත්‍රා ගඳ නොඑන ලෙස

හොඳින් සෝදා කරන පිරිසිදු

මුහුනද අත පයද

නොඑන ලෙස ඇඳ බිබිලි


පියර දමා සුවඳ පිනි ඉස

ගවුමක් පටලවා නැපි අන්දවා

මාරු කල අලුත් ඇතිරිල්ලේ

ඈ නිදයි දැන් උපන් බිලිදඳකු සේ


කතාවද අහිමිව ඇසුත් නොඅරින

වතුර උගුරක් පමන බොන

අහිංසක අම්මා මගේ

නෑ දන්නෙ නුඹ ඈ කෑවත්


ඇඳ අසලටම වී නිදි කිරන

මැස්සන් මදුරුවන් එලවන

ඉඳහිට පිරිත් කියමින්

ඇගේ සුවයම පතන


එකා දෙන්නා පෙනෙයි

එක පේලියට එයි විටෙක

පන්සිල් අමතකය මට එවිට

මේ පලමු අවවාදයයි නුඹට


කන්න එපා මගේ අම්මාව කූඹියනි !!!

නිලූ සේනාධීර

18.11.23


Comments

  1. ඒක නම් සෑහෙන්න හිතට දැනුනා.
    පසුගිය දවසක ලෙඩ ඇඳට වැටුන වයසක අයෙක් බලන්න ගියාම එයා කිව්වා //දෙවියනේ මේ උන්නා ඇති, මගේ දරුවන් මං හින්දා දුක් විඳිනවා බලන්න තියන්න එපා මාව// ඒ දෙමාපියන්!

    ReplyDelete
    Replies
    1. දෙමාපියන් එහෙම තමයි නේද. තමන්ගේ දුකට වඩා දරුවන්ගේ සුවය සැපත හොයනවා. බොහොම ස්තුති

      Delete
  2. ආදරයේ උල්පත් වූ අම්මා......ආදරය පටන් ගන්නෙත් ඉවර වෙන්නෙත් අම්මාගෙන් කියලා කියනවනේ... එවන් ආදරයක් ලබා දුන් මවක්, තවත් එවැනිම ආදරයකින් දරුවෙකි වෙතින් ලැබු රැකවරණය, ආදරය ඉතා ඉහලයි - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති.අපි මොනවා කලත් ඒ ණය ගෙවා ඉවර කරන්න බැරි වෙයි නේද ?

      Delete
  3. මේකයි, නිදිගෙ අම්මගෙ කතාවයි දෙකම හිතට බරක් වුනා. හහ්, කූඹි, මත කරන්න එපා ඔය අසමජ්ජාතිය. කම්පූටර් වයර් එක දිගේ ඇවිත් මොනිටරේට රිංගනවා, ස්ක්‍රීන් එකේ එලියෙන් අනාත වෙලා , ආපු පාර මතක නැති වෙන්න. ඔය කූඹි එන පාර ලකුණු කරන්නෙ, pheromone ශ්‍රාවයකින්. ඒක දිගේ තමා අනෙක් ගැන්සියම එන්නෙ. මම මේ දවස්වල ඉතුරු වෙච්ච කොරෝනා හෑන්ඩ් ලෝෂන් වයර් වල ගාලා අත්හදා බැලීමක් කරනවා.

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් කූඹි මරන්නේ නෑ. නමුත් මේ නම් මට ඒ සිතිවිල්ල ආපු අවස්ථාවක්. වෙන කරන්න තිබුනේම නෑ. ඔබේ අත්හදා බැලීම සාර්ථකද ?

      Delete
    2. https://www.pestdefence.co.uk/news/what-attracts-ants-and-how-do-i-get-rid/

      Delete
  4. නිලූ! මම තාත්තා ගැන ලියා ඇතත් අම්මා ගැන ලිව්වේ නෑ!
    ඒ; එයාගේ කථාව ඒ තරම්ම ඛේදජනක එකක් වූ නිසා.
    ඔය කූඹි මගේ අම්මාවත් අඳුනනවා!
    ස්තූතියි දිගටම ලියනවාට!

    ReplyDelete
    Replies
    1. දෙමාපියො අසරණ වෙලා කර කියාගන්න බැරිව ඉන්නවා දරුවන් කවදාවත් දැකිය යුතු නැති බවයි මගේ හැඟීම. එතකොට දෙමාපියන්ටත් වඩා දරුවෝ අසරණ වෙනවා. බොහොම ස්තුතියි මංජුල අයියා දිරිගැන්වීමට!!

      Delete

Post a Comment

Popular Posts